තනිවම දුම්රියෙන් බදුල්ලට I

Share

අද ටිකක් වෙනස් දෙයක් ගැන කියන්න හිතුවා. පහුගිය පෝස්ට් වලින් ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නොයෙකුත් තාක්‍ෂණික කරුණු ගැන ලිව්වත් අද මම හිතුව මගේම අත්දැකීමක් ඔබ සැම සමඟ බෙදා ගන්න. කියන්න බලන්න කවුද උඩරට දුම්රිය මාර්ගයෙ කොළඹ ඉඳන් බදුල්ලට කෝච්චියෙන් ගිහින් තියෙන්නෙ?

අද කියන්න යන්නෙ මම තනියම කෝච්චියෙන් බදුලු ගිය හැටි!! 🙂

මම පොඩි කාලෙ හිටියෙ දියතලාවෙ කියල මම කෝච්චි පිස්සෙක් වූ හැටි පෝස්ට් එකේදි කිව්වනෙ. ඒ කාලෙ ගෙදර අයත් එක්ක නිතරම කෝච්චියෙන් කොළඹ, නුවර වගේ පැති වල ගියාට ඒ පොඩි කාලෙනෙ. ඉතින් ඒ ගමන් ගැන පුංචි මතකයක් හැරුනු කොට වැඩි මතකයක් නෑ. පස්සෙ රත්නපුර වගේ කෝච්චි නැති පළාත් වලට ආවම කෝච්චියෙ යෑම ඉස්සර වගේ නිතර කෙරුනෙ නෑ. 2009දි විතර රූපවාහිනියෙ විකාශය වුනා ලස්සන වැඩසටහනක්, නම “උඩරට මැණිකෙ“. බලපු අයට මතකත් ඇති කොච්චර ලස්සන වැඩසටහනක්ද කියල. ඉතින් මේ වැඩසටහන තමයි නැවතත් මාව උඩරට දුම්රිය චාරිකාවක් යවන්න පෙළඹෙව්වෙ.

ඒ 2009යෙ ජූලි මාසෙ විතර. කැම්පස් එකේ විභාග තියෙන කාලෙ. පළමු වසරෙ දෙවෙනි semester එක. මට හිතුන ඊළඟට එන නිවාඩුවෙ යාළුවො කීපදෙනෙක් එක්ක කෝච්චියෙන් බදුලු යන්න. අදහස කිව්වම දෙන්නෙක් තුන්දෙනෙක් කැමති උනා. ඒත් එක්කම ඊට කලින් ගිය කට්ටියකුත් මුණගැහුණ. ඉතින් කොහොම හරි යන්න ඕන කියල හිතුන.

විභාගෙ ඉවර වෙන්න කිට්ටු වෙනකොට යාළුවො අදිමදි කලා ගමන යන්න. මොනව කරන්නද? මං හිතුව තනියම යන්න. විභාගෙ ඉවර උනේ අගෝස්තු පළවෙනිද. සිකුරාදාවක්. පහුවදාම උදේ පාන්දර 5ට විතර කොටුව station එකට ගිහින් ගත්ත බදුල්ලට දෙවෙනි පන්තියෙ ටිකට් එකක්. මට මතක ඇති කාලෙක කොටුව station එක ඇතුලට ගියාමයි. 🙂 ටිකට් පරීක්‍ෂා කරන මහත්මයගෙන් ඇහුව කොහාටද පොඩි මැණිකෙ train එක එන්නෙ කියල. එතකොට ඒකවත් දන්නෙ නෑ. 🙂 ඒ මහත්මය කිව්ව විදිහට දෙවෙනි වේදිකාවට කෝච්චිය එනව තව ටිකකින්.

ඒ එක්කම යකඩ කටින් “තව ස්වල්ප වේලාවකින් පෙරවරු 5.55ට මහනුවර බලා, බදුල්ල බලා පිටත්වන පොඩි මැණිකේ සිඝ්‍රගාමි දුම්රිය දෙවන වේදිකාවට පැමිණෙනවා ඇත. දුම්රිය නවත්වන්නේ රාගම, ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල, රඹුක්කන, කඩුගන්නාව, පිළිමතලාව, පේරදෙණිය, ගම්පොල… ගම්පොල සිට බදුල්ල දක්වා සැම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත.” කියල කිව්වෙ නැතෑ. දැන් නං මගේ පපුව ඩිග් ඩිග් ගාල ගැහෙනව මටම ඇහෙනව 😀

මෙන්න විනාඩි 5ක් යන්න කලින් ලස්සන හෝන් සද්දෙකුත් එක්ක පොළව දෙදරවගෙන කෝච්චිය ආව. එදා ආපු එන්ජිම තමා අදටත් මගේ ප්‍රියතම එන්ජිම. දන්නෝ දනිති. ඒ තමයි 1961දි කැනඩාවේ සිට මෙරටට පැමිණි M2c 627 Vancouver එන්ජිම. මෙයා දැන් ටිකක් ලෙඩ ගාණෙ වුනාට ශ්‍රී ලංකා දුම්රිය සේවයෙ තියෙන ලස්සනම එන්ජිමක්.  ඇවුරුදු 51ක් වයස වුනත් අදටත් ශ්‍රී ලංකා දුම්රිය සේවයේ තියෙන ඉතාමත්ම හොඳ එන්ජින් පන්තියක් වන M2 පන්තියේ අති විශිෂ්ඨ එන්ජිමක්.

ඒ වෙනකොට මම දන්නෙ නෑ දෙවෙනි පන්තියෙ මැදිරි කොහෙද තියෙන්නෙ කියලවත්. මම හොයාගන්න කොට පරක්කු වැඩියි. පෙට්ටි දෙකම පිරිල. (පසුව දැනගත් පරිදි ඊට ටික වෙලාවකට පස්සෙ දෙවන පන්තියෙ මැදිරියක් කොටුවෙදිම අයින් කරල කාර්මික දෝෂයක් කියල) ඒ පාර මම ගියා තුන්වෙනි පන්තියෙ මැදිරියකට. යන්තං ඉඩක් හම්බ උනා වාසනාවට. හැබැයි ඉතිං අයිනක් නං නෙවෙයි. එදා සෙනසුරාදාවක් වෙලත් දෙවෙනි පන්තියෙ සීට් හොයන්න රස්තියාදු වෙලා එනකනුත් සීට් එකක් හිස්ව තිබුනෙ කොහොමද කියලයි මම දැන් මේ කල්පනා කරන්නෙ. 🙂

හරියටම පෙරවරු පහයි පනස් පහට පොඩි මැණිකේ ශීඝ්‍රගාමී දුම්රිය බදුල්ල බලා පිටත් වුනා.

fast train
 

මේක ඔන්න කඩාගෙන බිඳගෙන යන්න පටන් ගත්තෙ නැතෑ. මං මේ අවුරුදු ගාණකට පස්සෙයි කෝච්චියෙ යන්නෙ. අහල තිබුනෙ ගාටන කෝච්චි ගැන. මේං බොලේ ඊට ටිකකට කලින් ගිය යාල් දේවිය ඉස්සර කලා. මොන වැඩක්ද ඒ? දේවිට මොකක් නමුත් අසනීපයක් වගේ ගමන පටන් ගත්ත හැටියෙම.

මුලම හරිය
Polgahawela
හැමෝම මාරු වෙන්න ඕන පොල්ගහවෙල හන්දියත් පහු වුනා.

දැන් ඉතිං නිදා වැටෙනව හිටු කියල. උදේ පාන්දර ඇහැරපු ගමන්නෙ. ඒ මදිවට පිරෙන්න සෙනඟ. නුවර පෙරහැර කාලෙනේ. රඹුක්කන පහු කරල කන්ද නගින්න පටන් ගත්ත. දැන් තමා හොඳ හරිය. ඒත් ඉතින් කොහෙ ලස්සන බලන්නද මම සීට් එකේ මේ මුල්ලෙ ඉඳන්. :/

Bathalegala
Balana

කොහොමින් හරි පේරාදෙණයටත් ආවයි කියමුකො. මෙච්චර වෙලා මහනුවර යන අයට සම්බන්ධක දුම්රියෙ යන්න කියපු එක වෙනස් වෙලා දැන් මේක යනවලු නුවර. හරි ෂෝක්. මට මොකෝ හදිස්සියක් කියලයැ. අනිත් අය නං ඒව මේව කියලව ඇහුණ. ඒ මදිවට රියදුරු උන්නැහේ බැහැල ඇවිත් ඇස් ඇම් මහත්තයත් එක්ක උණුසුම් කතාබහක්. අනුන්ගෙ කතා අහන්න හොඳ නැති නිසා අහන් ඉන්න ගියෙ නෑ ඕන්.

පැය බාගයක් විතර පේරාදෙණියෙ ඉඳල ඕන් නුවර යන්න පටන් ගත්ත. මාස දෙකක් වැනි සුළු කාලෙකට මගෙ සරසවිය වුනු පේරාදෙණිය සරසවිය මැදින් නුවරට ගිය ගමන පේරා මතක අලුත් කරවන්නක් වුනා. නුවර ගිහිල්ලත් ලේසියට එහෙන් පිටත් උනේ නෑ. නුවරදි මට සීට් එකේ ජනේලෙ පැත්තෙ මුල්ලට පැනගන්න පුළුවන් වුනා. අන්තිමට පේරාදෙණියට ඇවිත් පේරාදෙණියෙන් පිටත්වෙනකොට අමතර පැය දෙකක් ගතවෙලා තිබුණ.

 

ලියාගෙන ලියගෙන ගිහින් බලනකොට පෝස්ට් එක ටිකක් දිග වැඩි වෙලා. ඉතුරු ටිකත් ලියල තියෙන්නෙ. දිගට ලිව්වම කට්ටිය බලන්න අකමැති නිසා පෝස්ට් එක දෙකට කැඩුව. ඉතුරු ටිකත් ඉක්මනට දාන්නම්. 🙂 

මේ දාල තියෙන පින්තූර මම තුන්වෙනි වතාවට තනියම යද්දි ගත්ත ඒවා…. මුල් ගමනෙදි මගෙ ළඟ කැමරාවක් තිබුනෙ නෑ.

දෙවන කොටස