දුම්රිය ස්ථාන නාම පුවරුවේ තියෙන අංක මොනවද?

Share

දුම්රිය ස්ථාන වල තිබෙන නාම පුවරුවෙන් ගත හැකි දත්ත කිහිපයක් ගැන පැහැදිලි කරන්නයි මේ සූදානම.

භාෂා ත්‍රිත්වයෙන්ම අදාළ දුම්රිය ස්ථානයේ නම සඳහන්ව තිබෙනු පළමුකොටම දැක ගත හැකිය. මීට අමතරව පහතින්ම එම දුම්රිය ස්ථානයට මුහුදු මට්ටමේ දිට ඇති උස මීටර් හෝ අඩි වලින් සටහන් කර තිබෙන අතර ඉහළ දකුණු පසින් ඉලක්කම් කිහිපයක් දකින්නට හැකියි.

මේ ඉලක්කම් මොනවාද?

ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය
රතු පැහැ ඉලක්කම මාර්ග අංකය (Line number) හැඳින්වීමට යොදා ගනී. ඒවා පහත අයුරින් භාවිතා වේ,
  1. මරදාන – පේරාදෙණිය හන්‍දිය – බදුල්ල
  2. පේරාදෙණිය හන්‍දිය – මහනුවර – මාතලේ
  3. රාගම – පුත්තලම
  4. පොල්ගහවෙල – කන්කසන්තුරේ
  5. මැදවච්චිය – තලෙයි මන්නාරම
  6. මහව‍ හන්‍දිය –  ගල‍්ඔය හන්‍දිය  – මඩකලපුව
  7. ගල්ඔය හන්‍දිය – ත්‍රිකුණාමලය
  8. කොළඹ කොටුව – ගාල්ල – මාතර
  9. මරදාන – අවිස්සාවේල්ල

නමුත් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සඳහන්ව ඇති අංකය වනුයේ 0 003. එනම් මරදානේ Loco junction එකේ සිට කිලෝ මීටර් 3ක් දුරින් හා මාර්ග අංකයක් රහිත ස්ථානයක කොටුව දුම්රිය ස්ථානය පිහිටා ඇති බව මෙයින් කියවෙයි. මාළිගාවත්ත දුම්රිය අංගනය දෙසට හා  Running Shed එක දෙසට ශාඛා මාර්ග බෙදෙන මංසන්‍ධිය Loco Junction ලෙසින් හැඳින්වේ. දෙමටගොඩ Running Shed එක ළඟ තියෙන තැනක්.

එසේම මෑතදී ඉදිකල මිහින්තලේ මාර්ගයටද උතුරු මාර්ගයට අයත් අංක 4 යොදා ගෙන ඇත. මිහින්තලේ දුම්රිය ස්ථානය 4 14.99 ලෙසින් නම් කර ඇත. මෙම 14.99 කිසිසේත්ම මරදානේ සිට ඇති දුර නොවේ. මේ දුර උතුරු මාර්ගයේ සිට මිහින්තලේ දෙසට හැරෙන හන්දියේ සිට මිහින්තලේට ඇති දුරයි.
රතු පැහැ ඉලක්කම හැර ඉතිරි ඉලක්කම් තුනෙන් එම දුම්රිය ස්ථානයට මරදාන ලොකෝ හන්‍දියේ (Loco Junction) සිට ඇති දුර සටහන් කරනු ලබයි. අතීතයේදී සැතැපුම් වලින්ද වර්‍තමානයේදී කිලෝමීටර වලින්ද දුර සටහන් කරනු ලබයි. නමුත් අදටද සැතැපුම් වලින් දුර සටහන් කෙරුනු නාම පුවරු රැසක් දැක ගැනීමට හැකියාව ඇත. මෙය කෙනෙකුට මහත් පටලැවිල්ලක් ඇති කිරීමට සමත් වුවත් දුර ප්‍රමාණය පිළිබඳ අවබෝධයක් යන්තමින් හෝ ඇති විට සැතැපුම්ද කිලෝමීටර්ද යන්න දැන ගත හැකියි.
Great Western දුම්රිය ස්ථානය
මෙයට අමතරව දුර දශමස්ථාන කිහිපයකට සටහන් කළ දුම්රිය ස්ථාන නාම පුවරු කිහිපයක්ද වේ. උදා: මිහින්තලේ (4 14.99), පනලිය (1 77.865). සමහර විට  එක ළඟ ඇති දුම්රිය ස්ථාන වලට එකම අගයක් පැමිණීම වළැක්වීමට එසේ කළා විය හැකි බවක් පෙනේ.
පට්ටිපොල දුම්රිය ස්ථානය

ආශ්‍රිත:

  1. “යකඩ යකා – ශ්‍රීලංකා දුම්රිය” ෆේස්බුක් සමූහය තුල වූ සාකච්ඡා කිහිපයක්
  2. SRI LANKA RAILWAY PAGE වෙබ් අඩවිය
  3. මිතුරන්ගෙන් ලද තොරතුරු