යකඩ යක්කුන්ගෙ කකුල් තියෙන විදිහ ~ Axle arrangement of Locomotives

Share

දුම්රිය එන්ජිමක රෝද සවි කර ඇති ඇක්සල සවි කරන රටාව (Axle arrangement) එහි බර, එය ගමන් කිරීමට අපේක්ෂිත මාර්ගය හා කුමන කාර්යයකට යොදවන්නේද යන්න අනුව වෙනස් වේ. ලංකාවේ භාවිතා වන ඇක්සල පිහිටුම් රටා කිහිපයක් ගැන දැනුවත් කිරීමකි මේ.

Axle arrangement එක ලිවීමේදී සම්මත ක්‍රමයක් අනුගමනය කරනු ලබයි. උදා: A1A-A1A, Bo-Bo

ඉංග්‍රීසි කැපිටල් අකුරු

එකපෙළට (consecutive) ඇති එලවන ඇක්සල (driving axles)ගණන ඉංග්‍රීසි කැපිටල් අකුරු වලින් කියවේ. සාමාන්‍යයෙන් A,B,C,D හා E යන අක්ෂර පිළිවෙලින් ඇක්සල 1ක්,2ක්,3ක්,4ක් හා5ක් සඳහා යොදනු ලබයි.
උදා:
1. තනි එලැවුම් ඇක්සලයක් සඳහා A යනුවෙන්ද,
2. එකදිගට එලැවුම් ඇක්සල තුනක් පිහිටියේ නම් C යනුවෙන්ද යොදනු ලබයි.

ඉලක්කම්

එක පෙළට ඇති එලවෙන ඇක්සල (driven axles) ගණන 1 සිට ඉහළට සටහන් කරනු ලබයි.

එලවන ඇක්සල ගණන සටහන් කර ඇති ඉංග්‍රීසි කැපිටල් අකුරට පසුව ඉංග්‍රීසි සිම්පල් අකුරින් “o” ලෙස සටහන් කර ඇතොත් එයින් කියවෙන්නේ සියළුම ඇක්සලවලට වෙන වෙනම ට්‍රැක්ෂන් මෝටර (traction motors) සවි කර ඇති බවය.

කෙටි ඉර ” – “

මින් කියවෙන්නේ ඇක්සල බොගියකට සවි කර ඇති බවයි. එනම් නිදහසේ ව්‍යාවර්ත විය හැකි එක් ස්ථානයකින් පමණක් චැසියට සවි වී ඇති ඇක්සල පද්ධතියක් ලෙසින් ඇති බවයි. එමෙන්ම එක් ඇක්සල පද්ධතියක් අනිකෙන් වෙන කර දක්වන්නේද මෙයිනි. බොගි දෙකක් ඇති එන්ජිමක Axle arrangement එක ලියද්දී, එක් කෙටි ඉරකින් බොගි දෙක වෙන් කොට දක්වනු ලැබේ. උදා: Co-Co

ධන ලකුණ “+”

මින් කියැවෙන්නේ එකිනෙකට ඈඳූ (articulated) ඇක්සල පද්ධති වලින් සමන්විත බවයි.

සටහන:
දුම්රිය එන්ජින් ඇක්සල නාමකරණයට විකිපිඩීයා සහ වෙනත් ආශ්‍රිත ලිපි වල AAR (Association of American Railroads) සහ යුරෝපය කේන්ද්‍ර කරගත් UIC (International Union of Railways) යන ආයතන වල සම්මතයන් භාවිත කර තිබෙනවා. ඇමරිකානු ක්‍රමයේදී බලය ලැබෙන ඇක්සලයක් අකුරකින් දක්වන අතර එය ට්‍රැක්ෂන් මෝටර් එකක් මගින් කරකවනවාද නැද්ද යන්න සෙවිය නොහැකියි. නමුත් යුරෝපීය ක්‍රමයේදී o අකුර මූලික අකුරට පසුව යෙදීමෙන් එය ට්‍රැක්ෂන් මෝටර් යොදා බලගන්වා ඇති ඇක්සලයක්ද නැද්ද යන වග සොයාගත හැකියි.

ශ්‍රී ලංකාවේ සමහරුන් ඇක්සල සැකසුම් නාමකරණයේදී යුරෝපීය ක්‍රමයට o අකුර යොදා ලියන නමුත් 0 යනුවෙනුත් ඉලක්කම යොදා සමහරුන් ලියනවා. (පළමුව කී ක්‍රමය ඇමරිකාවේ සහ Commonwealth රටවල බහුලව භාවිතා වන ක්‍රමයයි) මේ ‍0 යනුවෙන් ඉලක්කම යොදා කරණ නාමකරණය කෙහෙන් පැමිණියක්දැයි පැහැදිලි නැහැ. [0 ලෙසින් ඉලක්කම ලිවීම මේ කිසිදු සම්මත වර්ගීකරණයක දක්නට ලැබෙන්නේ නැහැ.]
මීට අමතරව AAR classification එකේ [ – ] වෙනුවට UIC classification එකේ භාවිතාවෙන්නේ [ ‘ ] ලකුණක්. නමුත් ශ්‍රී ලංකාවේදී සහ ඇමරිකාව ඇතුළුව අනෙකුත් commonwealth රටවල මේ වර්ග දෙක දෙමුහුන් කර ලියන බවක් පෙනෙන්නට තිබෙනවා. (උදා: Bo-Bo)

ලංකාවේ භවිතාවන ප්‍රධාන Axle arrangements

A1A-A1A

එන්ජිමට බොගි දෙකක් ඇති අතර, එක් බොගියක් සැලකූ විට එක් එලවුම් ඇක්සලයක් (powered axle)එලවෙන ඇක්සලයක් (driven axle) නැවතත් එලවුම් ඇක්සලයක් ඇත. එලවන ඇක්සල සියල්ලට වෙන වෙනම ට්‍රැක්ෂන් මෝටර ඇත. මෙවන් axle arrangement එකක් භාවිතා කරන්නේ එන්ජිමේ බර බෙදී යාමේදී තනි ඇක්සලයකට වැඩි බරක් නොයාම පිණිසයි. මෙයින් මැද ඇති බල රහිත එලවෙන රෝදයට මෝටරයක් නැති නිසා ඉඩ ඉතුරු කරගැනීම සඳහා රෝදය කුඩා කර ඇත.
ලංකාවේ M2, M2a, M2b, M2d හා M6 යන එන්ජින් වල භාවිතා වන්නේ මෙම ක්‍රමයයි.

M2a 591  එන්ජිමේ බොගියක්

Bo-Bo

එන්ජිමට බොගි දෙකක් ඇති අතර, එක් බොගියක් සැලකූ විට වෙන වෙනම ට්‍රැක්ෂන් මෝටර සවි කරන ලද එලවුම් ඇක්සල දෙකක් ඇත. ලෝකයේ බහුලවම භාවිතාවන axle arrangement එක මෙයයි. මෙහි බොගියක දිග අඩු වීම තනි ඇක්සලයකට යෙදෙන බර වැඩි වීම ආදිය ශ්‍රී ලංකාවේ උඩරට මාර්ගයේ ධාවනය සඳහා ඉතා සුදුසු සාධක වන බැවින් උඩරට මාර්ගයට සුදුසු axle arrangement එක වශයෙන්ද හඳුන්වයි.
M2c, M5, M7 සහ Diesel-Electric DMU වලද භාවිතා වේ.‍ එනම් S9 හා ඉන් අනතුරුව පැමිණි DMU වල මේ අයුරින් axle arrangement එක සටහන් කෙරේ.

M2c 626 එන්ජිමේ බොගියක්

B-B

එන්ජිමට බොගි දෙකක් ඇති අතර, එක් බොගියක් සැලකූ විට එලවුම් ඇක්සල දෙකක් ඇත. එම ඇක්සල දෙකට එක් ජව සැපයුමකින් බලය සැපයෙන අතර එය යාන්ත්‍රික ක්‍රමයකින් ඇක්සල දෙකට බෙදා දෙනු ලැබේ.
Diesel hydraulic වර්ගයේ එන්ජින් වල මෙම ක්‍රමය භවිතා වේ. W1, W2 හා W3 මෙන්ම Diesel hydraulic DMU වල axle arrangement එකද මේ අයුරින් සටහන් කරනු ලබයි.

Co-Co

එන්ජිමට බොගි දෙකක් ඇති අතර, එක් බොගියක් සැලකූ විට වෙන වෙනම ට්‍රැක්ෂන් මෝටර සවි කරන ලද එලවුම් ඇක්සල තුනක් ඇත. මෙම වර්ගයේ බොගි දිගින් වැඩි අතර උඩරට මාර්ගයට සුදුසු නොවන බවට මතයක් ඇත. ඒ කෙසේ වුවද M4, M8, M8a, M9 යන එන්ජින් සුළු කාලය බැගින් උඩරට ධාවනය කර ඇත. මේවායින්  M4 එන්ජින් කිසිදු ගැටළුවකින් තොරව උඩරට ධාවනය කල අතර ඒවා උඩරටින් ඉවත් කලේ තැනිතලා මාර්ගවල ධාවනය කරවීම පිණිසයි. M8a එන්ජින් ගමන් කිරීමේදී පීලි සවිකරන ඇණ කැපීයාමක් ගැනත් M9 එන්ජින් ගමන් කිරීමේදී තියුණු වංගු වලදී පීලි ඈත්වීමක් ගැනත් නඩත්තු අංශ මගින් පැමිණිලි කර තිබුණා.

M8 පන්තියේ එන්ජිමක බොගියක්

C

එන්ජිමට බොගි නොමැති අතර, එහි චැසියටම සවි වූ එලවුම් ඇක්සල තුනක් ඇත. එම ඇක්සල තුනට එක් ජව සැපයුමකින් බලය සැපයෙන අතර එය යාන්ත්‍රික ක්‍රමයකින් ඇක්සල වලට බෙදා දෙනු ලැබේ. ප්‍රධාන වශයෙන් ෂන්ටින් එන්ජින් සඳහා යොදා ගනු ලැබේ.

D

C වල ආකාරයම වන අතර මෙහි ඇක්සල හතරක් වේ.


වැඩිදුර කියවීම්:
1. https://en.wikipedia.org/wiki/AAR_wheel_arrangement
2. https://en.wikipedia.org/wiki/UIC_classification_of_locomotive_axle_arrangements