මා කෝච්චි පිස්සෙකු වූ හැටි..

Share

මට වයස අවුරුද්දක් දෙකක්  වෙන කොට අපේ ගෙදර උදවිය පදිංචිය වෙනස් කලා දියතලාවට. සෞම්‍ය දේශගුණයක් තියෙන හරි අපූරු පළාත නෙ. ඒ වුනාට ඒ කාලෙ ඒ පැත්තෙ හරිම දරුණු විදිහට කලබල තිබුණා. ඒක ගැනත් මට පුංචි මතකයක් තියෙනව. ඒක ගැන නෙවෙයිනෙ මං කියන්න හදන්නෙ.

ඉතිං අපි අප්පච්චිට හම්බ උන නිල නිවාසෙ තමයි හිටියෙ. මේ ගෙදර ඉස්සරහ ඉඳං බැලුවම කෙලින්ම පෙන්නෙ දියතලාව ස්ටේසම. ස්ටේසම අපි හිටපු තැනට වඩා උසින් තමයි තියෙන්නෙ. දන්නෝ දනිති. නගරයට ගොඩක් උසින්නෙ කෝච්චි පාර තියෙන්නෙ. දියතලාවට එන්නෙත් කෝච්චි කීයෙන් කීයද.

මට යන්තමට වගේ මතකයි තවමත් ස්ටේසම පෙනුනත් ඔතනට කෝච්චියක් ආවට හරියට බලාගන්න බෑ.  කොළඹ පැත්තෙ ඉඳං එන ඒවයෙ එන්ජිම බඩු ගබඩාවට කවර් වෙනව. බදුල්ල පැත්තෙ ඉඳං ආවොත් මොන විදිහෙන් වත් එන්ජිම පේන්නෙ නෑ. එන්ජිම පේන්නෙ නැතුව කෝච්චියකින් වැඩක් තියේ යැ.

තවත් කේස් එකක්! ඉස්සර පුංචි කාලෙ මම කන්නෙ නැහැලු. හරිම අමාරුයිලු බත් කටක් කවා ගන්න. ඒ වෙලාවට අප්පච්චි කරන්නෙ කෝච්චියක් ඇඳල පෙන්න එක. කඩදාසියක් අරන් M6 එන්ජිමක් එක්ක කෝච්චියක්  ඇඳල පෙන්නනව. සමහර විට ඒ කාලෙ එහෙ ආපු W1, W2 ඒවත් ඒ වගේම හින්ද. මොකක් ඇන්ඳද දන්නෑ. දැන් නං ඉතිං යන්තමට තමයි මතක. අනිත් වෙලාවට අම්මත් ඉතිං පුළුපුළුවන් විදිහට කෝච්චියක් අඳිනවලු.

එහෙම නැත්තං පොඩි එකා කියනවලු පැට්ටේරියක් අඳින්න කියල. ඒ මොකද්ද බොලේ ඒ. ඒ කාලෙ අප්පච්චිත් එක්ක මමත් යනවනෙ වැඩට. වැඩි හරියක් යන්න වෙන්නෙ තේ ෆැක්ටරි වලට. ඒවයෙ සුවඳ නං මතක් වෙනකොටත් මරු. මෙහෙ ඇවිත් ජරා තේ කොළ වලින් හදන තේ බීල මට තේත් එපා උනා. ඒක වෙනම කතාවක්. ඉතිං අර කිව්ව තේ ෆැක්ටරි තමයි අඳින්න කියන්නෙ.

ඔය කිව්ව M6 පංතියේ ඇන්ජිමක් නාවලපිටියෙදි

මට ඉතිං ටිකක් ඇවිදින්න එහෙම පුළුවන් වයසට ආවම, ඒ කියන්නෙ වයස අවුරුදු තුන හතරක් වෙන කොට පට්ටිපොල සමිට් (summit level) එක පැත්තෙ රේල් හයික් ගිහින් තියෙනවලු. කොහොමද වැඩේ. සති අන්තෙක ගෙදර කට්ටිය ලෑස්තිවෙලා කෑම එහෙම හදාගෙන උදේ බදුල්ලෙන් එන උඩරට මැණිකෙ එකේ පට්ටිපොලට යනවලු. ගිහින් හිමින් සැරේ ඇවිදගෙන යනවලු summit එක පැත්තට. සමහර දවසට අංක 18 බිංගේ ළඟටම යනවලු. මේ හරියෙ තියෙනව මිනිස්සු වැස්සට එහෙම මුවා වෙලා ඉන්න හදපු ගුල් වගේ ඒව රේල් පාර අයිනෙ. අන්න ඒව එකකට වෙලා කෑම කාල තේ බීල එහෙම ආපහු දවල් වෙලා එන බඩු කෝච්චියෙ හරි කොළඹින් එන පොඩි මැණිකෙ හරි ආපහු එනවලු. ඉඳලා හිටල මට වයස අවුරුදු 5-6ක් වෙනකනුත් ගිහින් තියෙනව.

උසම තැන

ඊටත් අමතරව ඉතිං ගොඩක් සති අන්ත වල දියතලාවෙ ස්ටේෂන් එකේ ඉඳං හපුතලේ පැත්තට පයින් යනව මතකයි. අර පුංචි පාලමයි, පුංචි බිංගෙයි පහුකරගෙන. දියතලාවෙ පාලම අර පතුල පේන ජාතියෙ එකක් උනත් මට හොඳට මතකයි මම ඕකෙන් යනව අත්වැට විතරක් අල්ලගෙන. සිඟිති පාලමක් නෙ 😀

ඔය ඔක්කොම ආතල් නැති උනා අපි කහවත්තට ආවම. එහේ මොන කෝච්චිද. අප්පච්චිටත් ටිකක් කාර්යබහුල කාර්යාලයක් ලැබුනෙ. ඉතිං මගේ කෝච්චි පිස්සුවත් තාවකාලිකව යටපත් උනා. ආපහු පටන් ගත්තෙ ජාලගතවෙලා බුකියට එහෙම ඇවිත් යකඩ යකා group එක හම්බ උනාම. ඒ අතරෙ ඉඳල හිටල කෝච්චියෙන් බදුලු නොගියම නෙවෙයි ගෙදර අය එකතුවෙලා.

ග්‍රේට් වෙස්ටර්න්

පස්සෙ කාලෙක තනියම කෝච්චියෙන් බදුලු ගිය හැටිපස්සෙ වෙලාවක කියන්නම්.

ප/ලි: ඔන්න ලිව්ව 🙂
තනිවම දුම්රියෙන් බදුල්ලට I
තනිවම දුම්රියෙන් බදුල්ලට II