කැනේඩියන් එන්ජිම

Share

Class M2 එහෙමත් නැත්තං අපි සාමාන්‍යෙයන් කියන කැනේඩියන් එන්ජිම ලොකු කුඩා කාගෙත් සිත් ගත් එන්ජිමක්. මේ වර්ගයෙන් එන්ජින් දෙකක් හැරුණු කොට අනිත් සියලු එන්ජින් තනා ඇත්තෙ කැනඩාවේ. 1954දි මුලින්ම කැනේඩියන් එන්ජින් 5ක් ලංකාවට ආවෙ කොළඹ ක්‍රමය යටතේ ලංකාවට ලැබුණු ආධාරයක් විදිහට. ඉතිං ඒ කැනේඩියන් එන්ජින් වල විශිෂ්ටත්වය මත තවත් එන්ජින් ගෙන්වන්න දුම්රිය බලධාරීන් තීරණය කළා. ඒ අනුව M2 එන්ජින් 12ක් කොළඹ ක්‍රමය යටතේ ලංකාවට ගෙනාවා. පසුකාලීනව ලංකාවේ සිමෙන්ති කම්හල් වල සේවය සඳහා තවත් එන්ජින් දෙකක් ගෙනාවා. හැබැයි ඒවා කැනේඩියානු නිෂ්පාදන නම් නෙවෙයි. එම සමාගමේම අමෙරිකානු නිෂ්පාදනාගාරයක නිපදවපුවා. මේ හැම එන්ජිමකටම නමක් තියෙනවා. කැනඩාවෙන් ගෙනා එන්ජින් 10කට කැනඩා ප්‍රාන්තවල නම් සහ 626 හා 627ට කැනඩා නගරවල නම් තැබූ අතර පසුව ඇමරිකාවෙන් ගොනා එන්ජින් දෙකට සිමෙන්ති නිෂ්පාදනාගාර තිබූ “කන්කසන්තුරේ” සහ “ගාල්ල” යන නම් තැබුවා.

M2 ඇමරිකානු General Motors සමාගමට අනුබද්ධිත General Motors Diesel නම් කැනඩා සමාගමේ නිෂ්පාදනයක්. මුල්ම M2 කාණ්ඩය එන්ජින් 5කින් සමන්විත වුනු අතර, 1954දි ලංකාවට ගෙනාවා. ඒවායේ සාර්ථකත්වය මත M2a, M2b, M2c යනුවෙන් උප පංති කීපයක් ගෙන්නවා තිබෙනවා. මෙහි M2a වලින් එන්ජින් 3ක් M2b වලින් එන්ජින් දෙකක් සහ M2c වලින් එන්ජින් දෙකක් ගෙන්වා තිබෙනවා. මෙම එන්ජින් උප පංති එකිනෙකට කුඩා වෙනස්කම් සහිතවයි නිපදවා තිබෙන්නේ.

තාක්ෂණික විස්තර කිහිපයක්

Built: General Motors Diesel Limited, Canada and GM Electromotive Division, USA
Engine:  GM-1425hp Two Stroke (M2, M2a, M2b & M2c Sub Classes)
                GM-1310hp Two Stroke (M2d Sub Class)
 
Axel Arrangement: A1A-A1A (M2, M2a, M2b & M2d Sub Classes) and Bo-Bo (M2c Sub Class)
Gauge: 5’6 

Number series:    M2          (A1A-A1A)              569, 570, 571, 572, 573     1954

                                M2a        (A1A-A1A)              591, 592, 593                     1956
                                M2b        (A1A-A1A)              594, 595                             1958
                                M2c        (Bo-Bo)                  626, 627                             1961
                                M2d        (A1A-A1A)              628, 629                            1966
In service: From 1954
No imported Locos: 14
No in service: 13
Destroyed: – N0 571 “Saskatchewan”, Destroyed by LTTE.

M2

අපි මුලින්ම 1954දි ගෙනා  M2 ප්‍රධාන පංතිය ගැන කරුණු විමසා බලමු. 569(Ontario), 570(Alberta), 571 (Saskatchewan), 572 (British Colombia), 573 (Quebec) වශයෙන් එන්ජින් 5කින් මෙය සමන්විතයි. GM V12 – 567c වර්ගයේ අශ්වබල 1425ක ප්‍රතිදාන බලයක් ඇති එන්ජිමක් මෙය සතුයි. A1A-A1A ඇක්සල අනුක්‍රමය (ඇක්සල තුනක් සහිත බොගි දෙකක් ඇති අතර එක බොගියක් සැලකූ විට මුල් ඇක්සලය සහ 3වන ඇක්සලය විදුලි මොටර් වලින් බලගන්වා ඇති අතර මැද ඇති ඇක්සලය නිදහසේ කරකැවෙනවා) සහිත මෙම පංතියේ එන්ජින් උඩරට නාවලපිටියෙන් එහා සහ කැළණි වැලි මාර්ගයේ හැර අන් සියලු මාර්ගවල තවමත් ඉතා හොඳින් ධාවනය වෙනවා. මුලින් කොළ හා දුඹුරු පැහැය මෙහි අලේප කර තිබූ බවටත් මතයක් පවතිනවා. එමෙන්ම රතු හා දම් පැහයටහුරු වර්ණයක් තිබුණු බවටද මතයක් පවතිනවා. නමුත් මේ දෙකම තහවුරු වී නැහැ.

M2 # 573 Quebec කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ ලන්ඩන්හි පිහිටි කර්මාන්තශාලාවේදී ගත් ඡායාරූපයක්

මෙතනින් ගත්තෙ

සොයුරියන් තිදෙනා

මුල් ගමනේ ප්‍රචාරක අත් පත්‍රිකාවක්
(ප/ලි: 2013/01/07: රුහුණු කුමාරි දුම්රිය මුලින්ම 1955 ඔක්තෝම්බර් 24 වනදා M2 අංක 572 British Columbia එන්ජිම සමඟත් 1956 අප්‍රේල් 24 වනදා යාල් දේවි සහ උඩරට මැණිකේ පිළිවෙලින් 569 හා 572 අංක දරණ එන්ජින් සමඟත් ගමන් ඇරඹූ බව නලින් අබේසිංහ සොයුරා විසින් යකඩ යකා – ශ්‍රී ලංකා දුම්රිය ෆේස්බුක් සමූහයට පවසා සිටියා.)

යාල්දෙවියට මුලින්ම ගමන් කළ එන්ජිම වන අංක 570 “ඇල්බටා” එන්ජිම දෛවෝපගත ලෙස කන්කසන්තුරේ රාත්‍රී තැපැල් දුම්රියේ අවසන් කන්කසන්තුරේ ගමනට එක් වන්නට සිදුවුණා. එදා කන්කසන්තුරේ රාත්‍රී තැපැල් දුම්රිය රියැදුරු උනේ එස්. රාජගෝපාලන් මහතා. ඔහුත් කන්කසන්තුරේ පදිංචිකරුවෙක්. ඒ 1992 දි. 1996දී මේ එන්ජිම නාවික හමුදාවෙ සහය ඇතුව කොළඹට ලංකා මුදිත නැවෙන් ගෙනාවත් මැදිරි ගේන්න බැරි උනා. ඉතිං එදා රෑ කන්කසන්තුරේ ගිය තැපැල් දුම්රිය තාම ආපහු ආවෙ නෑ.

ප/ලි: 2014/05/25: පසුගිය අප්‍රේල් 30වනදා කොළඹ සිට පලෙයි බලා ධාවනය වූ ‘දැයට කිරුළ’ සීඝ්‍රගාමී දුම්රිය පොතුහැර දුම්රිය ස්ථානයේ නවතා තිබූ වව්නියාවේ සිට මාතර බලා යන  ‘රජරට රැජින’ දුම්රියේ මුහුණට මුහුණ ගැටීමෙන් විශාල අනතතුරක් සිදුවුණා. එහිදී අනතුරට පත් ‘රජරට රැජින’ දුම්රිය ගෙන යමින් තිබුනේද මේ අංක 570 දරණ ඇල්බටා එන්ජිමමයි. මෙහිදී ‘ඇල්බටා’ට සෑහෙන්න බරපතල ලෙස හානි සිදුවුවත් එය නැවත අළුත්වැඩියා කර ධාවනයට එක් කළ හැකි බවයි දුම්රිය අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ.

මේ පංතියට අයත් 572 අංක දරණ එන්ජිම තමයි සෑහෙන්න ප්‍රසිද්ධීයක් ලැබුණු මීරිගම විල්වත්තේ මහා දුම්රිය අනතුරට මුහුණ දුන්නේ. අනතුරින් මගීන් 22ක් ජීවිතක්‍ෂයට පත්වී තවත් 88 දෙනෙක් තුවාල ලැබුවා. ඒ 1964.10.17වැනිදා. 1964.10.16 වැනිදා රාත්‍රියේ තලෙයි මන්නාරමෙන් පිටත් වුණ “තලෙයිමන්නාරම් බෝට්ටු දුම්රිය“ නමින් හඳුන්වන දුම්රිය පසුදා එනම් 17වනදා මගී හා භාණ්ඩ ප්‍රවාහන ගැල් 22ක් සමඟ උදෑසන 6:18ට විල්වත්තේදී පලිපනිනවා. අධික වේගය හා රියදුරු පැය 14ක් තරම් දීර්ඝකාලයක් එකදිගට සේවය කිරීම මීට හේතුව වුණා.

M2a

දැන් මම යන්නෙ 1956දී ලංකාවට ගෙන ආ M2a උප පංතිය ගැන කියන්නයි. මේ ගැනත් රසවත් කතාවක් තිබෙනවා. පිට පෙනුම වෙනස් උනත් කලින් කී GM V12 – 567c වර්ගයේම අශ්වබල 1425ක බලසැපයුම් එන්ජින් සවිකල එන්ජින් (සම්පූර්ණ ඒකකයට සිංහලෙන් අපි පාවිච්චි කරන්නෙ එන්ජිම කියන වචනය නිසයි මේ පටලැවිල්ල. ඉංග්‍රීසියෙන් බල සැපයුම් එන්ජිම prime mover ලෙසත් සම්පූර්ණ ඒකකය locomotive ලෙසත් වෙනස් නම් දෙකකින් හඳුන්වනවා) තුනක් තමයි M2a උප පන්තිය යටතේ ගෙන්වූයේ. ඒවා 591 (Manitoba), 592 (Nova Scotia), 593 (New Brunswick) යන එන්ජින්. මේවායින් 591 හැමෝටම මතක හිටින එන්ජිමක්. ඒ සුනාමියට අහුවුනේ මේ එන්ජිම නිසා. සුනාමියට හසුවීම නිසා මෙහි ඕල්ටනේටරය මලකඩ කා විනාශ වූ නමුත් අංක 593හි ඕල්ටනේටරය භාවිතා කර නැවත ජව ගැන්වූවා. මේවන විට ඕලටනේටරය මාරුවෙන් මාරුවට එන්ජින් වලට යොදන බවයි අහන්න ලැබුනේ. වැරැද්දක් තියෙනව නං දන්න කෙනෙක් නිවැරදි කරන්න.

සුනාමියට හසු වූ M2a # 591 Manitoba එන්ජිම කොටුව දුම්රියපලේදී

මේ උප පන්තිය පිටුපස තියෙන කතාව තමයි මේ. මේ කාණ්ඩයේ එන්ජින් කැනඩාවෙන් එනවිට අංක කර තිබුනේ 589, 590, 591 වශයෙනුයි. නමුත් ලංකාවේ ඉංජිනේරුවන් පැරණි S1 වර්ගයේ බලවේග කට්ටල වලින් ලබාගත් එන්ජින් භාවිතා කර අළුත් එන්ජින් දෙකක් නිපදවා, ඒවා 589, 590 වශයෙන් නම් කර තිබුනා. ඉතින් එකම අංකය සහිත එන්ජින් දෙකක් ධාවනය වීම වැළැක්වීමට අළුතින් ගෙනා එන්ජින්වල අංක වෙනස් කරන්නට සිදුවුනා. ඒ 589, 591 ලෙසත් 590, 592 ලෙසත් 591, 593 ලෙසත්. සුනාමියට අහුවුනු එන්ජිමට මුලින් තිබුනු අංකය තමයි 589 🙂

M2b

M2b # 594 Prince Edward Island කොටුවේදී

ඊළඟට M2b උප පංතිය. මෙහි බලසැපයුම් එන්ජිම උනෙත් GM V12 – 567c වර්ගයේ අශ්වබල 1425හේ එන්ජිම. 1958දී මෙරටට ආනයනය කල 594 (Prince Edward Island) සහ 595 (New Foundland) යන එන්ජින් දෙක තමයි මේ උප පංතියට ඇතුලත් උනේ. මෙයින් අංක 595 දරණ එන්ජිම 1974.04.02දා දරුණු අනතුරකට මුහුණ පෑවා. ඒ පල්ලායි දුම්රිය ස්ථානයේදී. කන්කසන්තුරේ සිමෙන්ති නිෂ්පාදනාගාරයට මැටි ගෙනයමින් සිටියදී කන්කසන්තුරේ සිට පැමිණි රාත්‍රී තැපැල් දුම්රිය හා ගැටීමෙන්. පසුව හෙළි වූ අන්දමින් 595 හි රියදුරා අනවශ්‍ය ලෙස දීර්ඝ කාලයක් (එක දිගට දින දෙකක්) එකදිගට සේවයේ යෙදී සිට ඇති අතර මත්පැන් බී සිටි බවටත් හඳුනාගැනුනා. සංඥා නෙතකමින් අධික වේගයෙන් දුම්රිය පැදවීම ගැන එයට පෙරත් වැරදි කරු වී සිටි ඔහු නැවතත් එම වරදම කරමින් දුම්රිය අනතුරකට මඟපෑදුවා.

ප/ලි: M2b 595 දරණ එන්ජිමට Dynamic brakes සවි කර තිබූ අතර දැන් එහි dynamic brake නැත. මේ වන විට ඩයිනමික් බ්රේක් නොමැති එන්ජින් වලට උඩරට මාර්ගයේ රඹුක්කනින් එපිට ගමන් කිරීම වළක්වන නීතියක් රඹුක්කන කිරිවල්ලාපිටියේ සිදුවූ මාරක අනතුරින් පසු ගෙනැවිත් ඇති බැවින් පෙර නිතර කොළඹ-මහනුවර නගරාන්තර දුම්රියට යෙදවූ මෙම එන්ජිම දැන් මහනුවර පැමිණෙන්නේ නැත.

M2c

ඊළඟ උප පන්තිය තමයි මම ආසම. M2c. 1961දී ගෙනා 626 (Montreal) සහ 627 (Vancouver) යන එන්ජින් දෙක උඩරට මාර්ගය සඳහාම විශේෂයෙන් සැකසූවක්. Dynamic brake සහිතව ගෙන්වූ ප්‍රථම M2 එන්ජින් වන්නෙ මේවායි. එය උඩරට මාර්ගයේ තියුණු බෑවුම් වල ගමන්කිරීමේදී ප්‍රයෝජනවත්. මීට පෙර සෑම කැනේඩියන් එන්ජිමකටම උඩරට ධාවනය කළ හැකිව තිබූ නමුත් අද වන විට උඩරට මාර්ගයේ ධාවනය වන එකම M2 පංතිය තමයි M2c. එයට හේතුව Dynamic brakes අන් එන්ජින් වල නොමැති වීම. 2003දී රඹුක්කනදී සිදුවූ අනතුරින් පසු dynamic නැති එන්ජින් උඩරට ධාවනය වන්නේ නැත. උඩරට ධාවනය සඳහා විශේෂයෙන් මෙහි ඇක්සල සැකසුම Bo-Bo ආකාරයට සකසා තිබෙනවා. එනම් එක බොගියක් සඳහා ඇක්සල දෙකක් හා එම ඇක්සල දෙක අතර මැද හිස ඉඩකුත් සහිතව බොගි දෙකක් වශයෙන්. මෙ දෙකෙන් 626 මේ වනවිටත් උඩරට මැණිකේ වැනි කඳුකරය හරහා දිවෙන දුම්රිය රැගෙන යන අතර 627ත් තව නොබෝ දිනකින්ම අළුත්වැඩියාවකට ගොස් පැමිණ උඩරට යන්න නියමිතයි.

M2c # 626 Montreal නානුඔයදී

ප/ලි: 2012/09/13දා වන විට 626හා 627 යන එන්ජින් දෙකම කාර්මික දෝෂ හේතුවෙන්  උඩරට ධාවනය වන්නේ නැත.
ප/ප/ලි: 2014/05/25: අංක 627 එන්ජිම මේ වන විට අළුත්වැඩියාවන්ගෙන් පසුව උඩරට මාර්ගයේ ධාවනය කෙරෙනවා. වැඩිවිස්තර සඳහා ලිපිය අවසානය බලන්න.

M2d

M2d උප පංතිය ශ්‍රී ලංකා දුම්රිය සේවයට එකතු උනේ සිමෙන්ති කර්මාන්තශාලා සඳහා ගෙනා ඇමරිකාවේ GM EMD (General Motors Electro Motive Division) සමාගමේ නිපදවූ එන්ජින් දෙක නිසයි. මේවා සිමෙන්ති අමුද්‍රව්‍ය ප්‍රවාහනයට ගෙනාවත් පසුව ඒවා සාමාන්‍ය මගී ප්‍රවාහනයට යොදාගැනුනා. GM V12 – 567E වර්ගයේ අශ්වබල 1310ක සැපයුම් එන්ජිමක් සහිත මේවා ගෙනාවේ 1966දී. තවමත් හොඳින් ධාවනය වන අතර 628 (කන්කසන්තුරේ) හා 629 (ගාල්ල) යන අංක සහිතව ධාවනය වෙනවා.  Dynamic Brake සහිතයි. මෙය මහනුවර දක්වා ධාවනය කළ හැකි වුවත් දැන් Dynamic Brake අක්‍රීයව ඇති බැවින් දැන් එම මාර්ගයේ ගමන් කරන්නෙ නැහැ. ඇක්සල සැකසුම A1A-A1A ආකාරයටයි නිපදවා ඇත්තේ. මේ සැකසුම උඩරටට නොගැලපෙන බව සමහරුන්ගේ මතය වූවත් එහි සාර්ථකව ධාවනය වන Henschel flexi-float bogie සහිත M6 එන්ජිම මේ ඇක්සල සැකසුමම සහිතව නිපදවූවක්. එසේම මෙම A1A-A1A ඇක්සල සැකසුම සහිත කැනේඩියන් එන්ජින් කිසිදු ගැටලුවකින් තොරව උඩරට මාර්ගයේ බදුල්ල දක්වාම ගමන් කලා.

%d bloggers like this: