Vancouverගේ දුක්බර අවසානය

Share

එදා…
තනිවම මැදිරි හත අටකින් සමන්විත වූ මැණිකෙලා රැගෙන ගිරි හෙල් තරණය කර බදුලු ගිය වෑන්කූවර්….
අද….
රත්මලානේ දුම්රිය කර්මාන්තශාලාවේ පසෙක කෑළැවක කිසිවක් කරකියාගත නෙහැකිව නිහඬව බලා හිඳී…..

මිශ්‍ර දුම්රියක් සමඟ M2c 627 Vancouver නානුඔය පාලම මතදී
ඡායාරූපය ශානක ගුණරත්න සොයුරා ගෙනි

සාඩම්බර කැනේඩියන් පරපුරට අයත් මේ වීරයා M2c උප පන්තියට අයත් අංක 627 දරණ VANCOUVER යන නමින් හඳුන්වන මාගේ ප්‍රියතම දුම්රිය එන්ජිමයි. වසර පණහක් උඩරට මාර්ගයේ ජයකෙහෙළි නැංවූ මේ අභිමානවත් එන්ජිම අද වන විට රත්මලාන කර්මාන්තශාලා පරිශ්‍රයේ නිසොල්මනේ ගාල් කොට තබා ඇත.

අද කතා කරන්නට යන්නේ මේ අසරණ Vancouver ගැනයි.

උඩරට මාර්ගයටම විශේෂයෙන් නිපදවා 1961දී මෙරටට ගෙන ආ M2c කාණ්ඩයට එන්ජින් දෙකක් අයත් වුණා. ඒ අංක 626 MONTREAL සහ අද අපි කතා කරන  අංක 627 VANCOUVER. මෙම එන්ජින් සිය ස්වර්ණ ජයන්තිය සමරන්නට කෙටි කලක් ඉතිරිව තිබියදී අංක 627 Vancouver ඇක්සලවල ප්‍රශ්නයක් නිසා ධාවනයෙන් ඉවත් කෙරෙනවා.

අශ්ව බල 1425ක ධාරිතාවයකින් යුත් GM V12 567c (Two Stroke) එන්ජිම සහිතව උඩරටට ගැලපෙන පරිදි Bo-Bo ඇක්සල සැකසුමිනුත්, Dynamic බ්‍රේක් වලිනුත් සමන්විත වූ මේ යෝධයින් ගැන විශේෂයෙන් Vancouver ගැන අද අපිට විශේෂයෙන් කතා කරන්නට සිදුවී ඇත්තේ ශ්‍රී ලංකා දුම්රිය සේවයට අනූපමේය මෙහෙයක් ඉටු කළ මේ එන්ජිම අළුත්වැඩියා කර නැවත භාවිතයට ගත හැකි මට්ටමේ තිබියදී අතහැර දැමීමකට ආසන්න මොහොතකට පැමිණ ඇති නිසායි.

මේ එන්ජින් උඩරටට විශේෂයෙන් නිපදවූ ඒවා වීම නිසා එකල මේ එන්ජින් ධාවනයට අවසර ලබා තිබුණේ රත්මලාන කර්මාන්තශාලාවත් බදුල්ලත් අතර දුම්රිය මාර්ගයේ පමණයි. උඩරට මැණිකේ, පොඩි මැණිකේ සහ රාත්‍රී තැපැල් දුම්රිය මෙන්ම භාණ්ඩ ප්‍රවාහන දුම්රියන්ද නිතිපතා අදිමින්ද, එන්ජින් හිඟයටද පිළියම් ලෙසින් ආ චක්‍රීයව  ධාවනය කරවීමේ වැඩසටහන් නිසා නොනවත්වා එකදිගට පැය විසිහතරකටත් වඩා වැඩ කරමින්ද ඉතා විශාල කාර්යභාරයක් පුරා අවුරුදු පහණක කාලයක් ඉතාමත් හොඳින් ධාවනය කෙරුණි.

M2c 627 Vancouver නානුඔය දුම්රිය ස්ථානයේදී
ඡායාරූපය ශානක ගුණරත්න සොයුරාගෙනි

කරුණු මෙසේ තිබෙද්දී අංක 626 Montreal එන්ජිමේ ඇක්සල් රත්වීමේ ප්‍රශ්නයක් මතුවන්නේ ගිය අවුරුද්දේ මැද කාලයේදීය. ඊට හේතුව ඇක්සලයක් පුපුරා යාමක් ලෙසින් වාර්තා විය. ඉන්පසුව 2010 වසරේ අප්‍රේල් මස 23වනදා පේරාදෙණියේදී සිදුවූ පීලි පැනීම හේතුවෙන් 627 රත්මලානට ගෙන ගිය අතර 626හි තිබූ ප්‍රශ්නකාරී ඇක්සලය වෙනුවට 627හි හොඳ ඇක්සලයක් (හෝ සම්පූර්ණ බොගියක්ම) 626ට සවිකරනු ලැබ ඇත. (ඉහත කාරණය තහවුරු කෙරී නොමැති වුවත් විය හැකි ඉහළම සම්භාවිතාවක් ඇති අතර පසුව සිදුවූ සිදුවීම් ඊට නිතැතින්ම සැසඳේ) ඉන්පසුව 626 නැවතත් ධාවනයට එක් කරන ලද අතර එහි උඩරට ධාවනයට තිබූ අපහසුව මඟහැරී නැවතත් දිනපතාම පාහේ උඩරට මැණිකේ දුම්රිය සඳහා යොදවනු ලැබිණ.

නමුත් 627 සඳහා සවිකරන ලද ප්‍රශ්නකාරී ඇක්සලය (හෝ බොගිය) හේතුවෙන් 627 උඩරට ධාවනයට සුදුසු තත්වයේ නෙතිබුණ බැවින් තාවකාලික අලුත්වැඩියාවකින් පසුව දක්ෂිණ අධිවේගී දුම්රිය මාර්ගය සෑදීමේ කටයුතු සඳහා වූ සම්පාදක දුම්රිය සඳහා යෙදවිණ. මෙහිදී M2c කාණ්ඩය රත්මලාන සිට බදුල්ල දක්වා පමණක් ධාවනය කළ යුතු බවට වූ නීතිය ඉවත් කෙරුණු අතර මෙය වෙරළබඩ ධාවනය කරවීම දුම්රිය ලෝලීන්ගේ ඉමහත් අප්‍රසාදයට ලක්වූ කාරණයක්ද විය.

අවසන් ගමන යන 627 කැකිරාවේදී
ඡායාරූපය ගෙහාන් චන්දික සොයුරාගෙනි

මේ වසරේ මැයි මාසය වන විට වෙරළබඩ දුම්රිය මාර්ගයේ අළුත්වැඩියා කටයුතු වලින් පසුව 627 මඩකලපුව මාර්ගයේ අළුත්වැඩියා කටයුතු සඳහා වූ සම්පාදක දුම්රියක් ගෙනයාමට යෙදවිණ. ඒ 627 Vancouverහි අවසාන දින කිහිපය බව අප කිසිවෙක් සිතුවේ නැත. නමුත් නොසිතූවක්ම සිදුවිය. දැව සිල්පර රැගත් BLS රථ 4ක්, කොන්ක්‍රීට් සිල්පර රැගත් BLS රථ 4ක්, තවත් හිස් BLS රථ 4ක් සහ මැදිරි 2ක් හා එක් තිරිංග මැදිරියක් සහිතව සම්පූර්ණ ඒකක 15කින් යුත් දැවැන්ත දුම්රියක් ඇදීමට 627 සිදුවිය. ආපසු පැමිණෙන අතරතුර ගල්ඔයදී 627 සදාකාලිකවම අබ්බගාතයෙකු බවට පත් කරවමින් ඇක්සලය කැඩී ගියේය. ඒ නිසා එම මාර්ගයේ දුම්රිය ගමනා ගමනයද ඇණ හිටි අතර එය නැවත් කොළඹට ගෙන ඒමට M2c 626හි බොගියක් පිටත් කර හරිනු දක්නට ලැබිණි.


අවසන් ගමන ගෙහාන් සොයුරාගේ කැමරා ඇසින්

මේ අතර 626හි ඇක්සලද දුර්වල වන්නට පටන්ගෙන තිබුණු අතර එයද ක්‍රම ක්‍රමයෙන් උඩරටින් ඉවත් කර පහතරට වෙරළබඩ මාර්ගයේ ධාවනය වනු දක්නට ලැබිණි. මේ වන විට දිනපතා සුනාමි දුම්රිය හෙවත් අංක 50 දරණ දුම්රිය සඳහා 626 යොදවා ඇති අතර 627 සඳහා ඇක්සල (හෝ බොගියම) ගෙන්වීමකින් තොරව රත්මලාන කර්මාන්තශාලා භූමියේ අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් කිසිදු සැලකිල්ලක් නැතිව තබා තිබෙනු දක්නට හැකියි.

627හි එන්ජිම ඉතාම හොඳ තත්වයේ තිබෙන බැව් එහි ඇක්සලය කැඩීයාමට දින කිහිපයකට පෙරාතුව ගෙහාන් චන්දික සොයුරා විසින්ගන්නා ලද වීඩියෝවෙන් මනාව පැහැදිලිවේ.  වසර 50ක් අසීමිත මෙහෙවරක් කළ මේ එන්ජින් තවත් වසර ගණනාවකට කිසිඳු ප්‍රශ්නයකින් තොරව ධාවනය කළ හැකිව තිබියදී ඇක්සල් ප්‍රශ්නයක් නිසා මෙසේ අතහැර දමන්නේ ඇයි???

දුම්රිය බලධාරීනි දුම්රිය ලෝලීන් වශයෙන් අපේ කාරුණික ඉල්ලීම 626 හා 627 එන්ජින් දෙක නැවත යථා තත්ත්වයට ගෙන උඩරට ධාවනය කළ හැකි අයුරින් අළුත්වැඩියා කර දෙන ලෙසයි.

ප/ලි: (2012/12/25) M2c උප පන්තියේ Bo-Bo ඇක්සල සැකසුමට ගැලපෙන ඇක්සල දෙකක් දකුණු අප්‍රිකාවෙන් ගෙනැවිත් ඇති බවට නිල නොලත් ආරංචියක් ගෙහාන් සොයුරා විසින් ලබා දුන්නා.  බලමු මොකද වෙන්නෙ කියල 🙂 සතුටුයි මේ ගැන යමක් සිද්ධ වෙන බවට ආරංචියක්වත් ලැබුණ එකට…

ප/ප/ලි: අවුරුදු දෙකකට පමණ පසු පළමුවරට 2013/10/11 වන දින නැවතත් උදෑසන 7:00ට මහනුවර බලා පිටත් වන ශීඝ්‍රගාමී දුම්රිය රැගෙන මහනුවර බලා ගිය ඇය කිසිදු ගැටළුවකින් තොරව උඩරට මාර්ගයේ ගමන් කළාය.