මේ තියෙන්නෙ Kalyan Minaret එක. සාමාන්‍යයෙන් minaret එකක් කියන්නෙ මුස්ලිම් පල්ලියක පසෙකින් තියෙන දවසේ යාඥා පහ සඳහා කැඳවීම් කරන්න භාවිතා කරන කුළුණට. Kalyan කියන්නෙ ශ්‍රේෂ්ටත්වයට.

මම මගේ ප්‍රියතම සෝවියට් දුම්රියෙන් බුකාරාවලට එද්දි උදේ 7ට වුණා විතරයි. තාම පරිසරය සිසිල්. මාර්ග හිස්. මගේ taxi app එක වැඩ කරන්නෙත් නෑ. ඒක ටෂ්කෙන්ට් වල විතරයි වැඩ කලේ. අනික් ඇප් එකට OTP එක එන්නෙ නෑ. පිටත් වෙන්න කළින් හෝටලෙන් ඇහුවම කියල තිබුණෙ කිලෝමීටර 12යි තියෙන්නෙ සුම් 20,000ක් විතර වෙන්නෙ ටැක්සියට කියල. මැදි වියේ ටැක්සි රියදුරෙක් ආව ළඟට මම සම්පූර්ණයෙන්ම අතරමං වෙලා කියල තේරුණාම. ගණන් ඇහුවම කිව්ව 150,000ක් ඕන කියල. මං කිව්ව නෑ 20,000ක් දෙන්නං කියල. රියදුරා හිනා වෙනවා. පස්සෙ හෙට්ටු කරල 80,000කට කැමති කරව ගත්තා. (ආපහු එද්දි 30,000ට ආවෙ)
තාම ඉර හරියට පායලත් නෑ. පින්න එක්ක පොඩි මීදුමක් තිබුණා. අළුම අළු පාටයි පරිසරය. පාර තනි කෙළින්. පාර හදනව. තනි මඩ ගොහොරුවක්. මම මීට කලින් යූ ටියුබ් එකෙන්, ෆිල්ම් වලින් විතරක් දැකල තිබුණ commie blocks පාර දෙපැත්තෙ. හරියට පරණ සෝවියට් ෆිල්ම් එකක් මැදින් යනව වගේ. ඒක නම් පිස්සුවක්. මාරම dystopian look එකක් ඒ දර්ශනය. අර සෝවියට් සංගමය කඩන් වැටෙන කාලෙ වර්ණ ගන්වපු කළු සුදු clips තියෙන්නෙ. හරියටම ඒ වගේමයි.
උස්බෙක් ටැක්සි රියදුරො නම් වෙනමම ජාන තියෙන මිනිස්සු කොට්ටාසයක්. රුසියන් ආභාෂය හොඳට ලැබිල තියෙනව. කිසිම තැකීමක් නෑ වාහනය ගැනවත් වාහනේ යන මිනිස්සු ගැනවත්. (හොඳට පදවන අයත් ඉන්නවා). කොහොම හරි මේ මනුස්සයා මාව හෝටලයට ගෙනැත් දැම්මා. ඒක බොහොම පටු දූවිලි පිරුණ පැරණි මාර්ගයක් ඇතුළට වෙන්න තිබුණ තැනක්. කියන්න වරදක් නෑ තැන (පහුවදා උදේ කෑම එක ඇරෙන්න). ඇතුළට ගියාම එළිය වගේ නෙවෙයි හරිම cosy feeling එකක් තියෙන තැනක්. එතන බෑග් එක තියල මම ගියා ඇවිදින්න. මේ පැරණි සේද මාවත් නගරයේ තියෙන ජනප්‍රියම සංචාරක ආකර්ශණය තමයි Kalyan Minaret එක එහෙමත් නැත්තං ශ්‍රේෂ්ට කුළුණ.
මේ ශ්‍රේෂ්ට කුළුණ පිහිටල තියෙන්නෙ උස්බෙකිස්ථානයේ බුකාරා පැරණි නගරයේ. (නව නගරයකුත් තියෙනවා). 1127දි Karakhanid පාලකයෙක් වන Arslan Khan තමයි මේ කුළුණ හදවල තියෙන්නෙ. හැබැයි මීට කලිනුත් මෙතැනම Kalyan නමින් කුඩා Minaret එකක් තිබිල කඩන් වැටුන කියල කියනවා. ඒ විතරක් නෙවෙයි. ඒ පැරණි කුළුණට බෞද්ධ ආභාෂයක් තිබුණ කියලත් කල්යාන් නම ඒ ඇසුරින් ලැබුණක් කියලත් විශ්වාසයක් තියෙනවා.

මේ කුළුණ හදල අවුරුදු 100ක් විතර යද්දි තමයි චිංගිස් ඛාන්ගේ මහා මොන්ගෝලියානු අධිරාජ්‍ය මධ්‍යම ආසියාව ආක්‍රමණය කරන්නේ. චින්ගිස් ඛාන් විනාශ නොකළ එකම පෞරාණික ගොඩනැගිල්ල මේ Kalyan minaret එක කියලත් කියනවා. අඩුම ගාණේ ඒ අවට ප්‍රදේශය සැලකුවොත් ඒ කතාව ඇත්ත වෙන්න ඇති.
කොහොම නමුත් මේ සුවිසල් කුළුණ, පල්ලිය සහ මද්‍රසා පාසල ඉතාම අපූර්ව නිමැවුමක්. කාලයකදි ගොඩබිම් සේද මාවතේ ගමන් කළවුන්ට ප්‍රදීපාගාරයක් වෙමින්ද, තවත් කාලයකදී යුද්ධ සෙබළුන්ට නිරීක්ෂණ කුළුණක් වෙමින්ද, තවත් කාලයදී මරණීය දණ්ඩනය ලැබූවන් ඉහළ සිට පහළට හෙළා දඬුවම් කිරීමටත්, මේ හැම කාලයකදීම Adhan නැතහොත් Muezzin නමින් හඳුන්වන යාඥා කැඳවුම් ගායනයටත් භාවිතා කර තිබෙනවා. එපමණක් නොවෙයි, රජවරුන් සහ අධිරාජ්‍යයන්ගේ සංදේශ කියවීමටත් මේ කුළුණ භාවිතා කරල තියෙනවා.

අද වන විට සංචාරක මර්මස්ථානයක් වෙලා තියෙන Poi Kalyan එහෙමත් නැත්තං Kalyan complex එක අවුරුදු දහසකට කිට්ටු බොහොම වේදනාකාරී ඉතිහාසයක් දරාගෙන තවමත් යෙහෙන් වැජඹෙන පුරාවෘතයක්.
#dodantravels #solotraveller #uzbekistan