ඇත්තටම මේ කාශ්මීරය හරහා ගමන ආරම්භ වුණේ එවකට හිටපු මගේ යාළුවෙක් එක්ක චැටක් දාන් ඉද්දි මගේ ට්‍රැවල් බකට් ලිස්ට් එකේ ඊළඟ ටාගට් එක ගැන කියලා.

අදහස

කලින් පාර මනාලි ගියානේ. මම මනාලි යද්දි ඒ පැත්ත ගැන ලොකුවට දෙයක් දැනන් හිටියේ නැහැ. ඒක පවුලේ චාරිකාවක්. සම්පූර්ණයෙන්ම organise කළේ අප්පච්චි. මේ ගමන යාළුවො සෙට් එකක් එක්ක ගිය ගමනක්. සම්පූර්ණයෙන්ම organise කළේ මම. කොහොම හරි කලින් පාර මනාලි ගිහින් ඇවිල්ලා සෑහෙන දේවල් හෙව්වා ඒ ගමනෙදි අහපු දැකපු දේවල් ඔස්සේ ගූගල් සර්ච් කරලා. එයින් එකක් තමයි Leh-Manali Highway එක. මේ highway එක ගැන විස්තර හොයද්දි තමා දැනගත්තේ එතන ඉඳන් කාශ්මීරයට තියෙන්නෙ 475 km වගේ දුරක් කියලා. ඒත් ඒ පාරෙන් ගමන දුෂ්කරයි. ඔය දුර යන්න දවස් දෙකක් යනවා. දැන් නම් මේ දුර 425 kmක් වගේ කෙටි වෙලා තියෙනවා අලුතෙන් හදපු උමඟත් එක්ක. ඒත් ගමනේ ලස්සනම Rohtang Pass වගේ ප්‍රදේශ මඟහැරෙනවා උමං මාර්ගයෙන් ගියොත්.

Leh-Manali Highway

එයින් ඇරඹුනු විස්තර හෙවිල්ල එක්ක ඒ වෙනකොට සෑහෙන යමක් දැනගෙන හිටියා කොහොමද යන්න ඕන කියලා. ඒත් මේක යන්නම බලාගෙන හෙව්ව නෙවෙයි නිකන් ඔය අනික් රටවල් වල ගමන් යන විදිය හොයන විදියටම ට්‍රැවල් සයිට් වල විස්තර හෙවිල්ලක් කලේ.

ඔය අතරෙ තමයි මම අර මුලින් කිව්ව වගේ අර යාළුවට කිව්වෙ ආයෙත් සීතල පළාතක යන්න ඕන. ඒකට කාශ්මීරෙ හොඳයි කියල. යාළුවත් කිව්ව යමු කියල.

හෙවිල්ල

ඒ එක්ක මම තව විස්තර හෙව්වා සංචාරක ආයතන වලට emails, facebook chats එහෙම දාලා. සති කීපයක් ඒ අයත් එක්ක කතා කරද්දි දැනුමක් ලැබුණා මෙයාල කොහොමද මේක කරන්නෙ, කොච්චර මුදලක් යනවද, කොච්චර කාලයක් යනවද වගේ විස්තර.

ඉන්දියන් ගමන් වල ලොකුම ප්‍රශ්නයක් උන්ට ගෙවීම් කරන්න ටිකක් අමාරුයි සහ වාහනයක් හොයාගන්න එක online කරන්න ටිකක් අමාරුයි. හෝටල් නම් booking.com හරි Airbnb හරි පාවිච්චි කරල book කරන්න පුළුවන්. ඔය ගැටලුව එක්ක කලින් පාරත් පරිප්පුවක් කාල අත්දැකීමක් තියෙන නිසා ටිකක් ප්‍රසිද්ධ අතරමැදි සමාගමක් වන Travel Triangle සමාගම හරහා online සෙට් කරගත්ත tour agent කෙනෙක්. මම itinerary එකක් හදල උන්ට යවල කිව්වා හෝටල් වැඩේ සහ හය දෙනෙක්ට යන්න පුළුවන් Toyota Innova කාර් එකක් බුක් කරල දෙන්න කියල. Travel Triangle එකෙන්ම කීපදෙනෙක්ගෙන් quotes ගෙන්න ගත්තා.

කාලය

ඊළඟට කොයි කාලෙද යන්නෙ කියල තීරණය කරන්න වැදගත් සාධකයක් winter එක. මොකද winter එකේදි අපි යන්න ඉන්න ප්‍රධාන මාර්ගයක් වහනවා හිම වැටෙන නිසා. ඒක අතඇරියොත් ගමනෙන් බාගයක්ම නැති වෙනවා. ඒ නිසා අපේ තීරණය වුණේ winter එකට සති දෙකකට කලින් ගමන යන්න. ඒ කියන්නේ අපට almost winter experience එකක් ගන්න පුළුවන් ඇත්තටම මහා පරිමාණයෙන් හිම වැටිලා පාරවල් වහන්න කලින්. ඔන්න ඕකයි plan එක.

මේ තියෙන්නෙ winter එකට පස්සෙ පාර clear කළාට පස්සෙ තත්ත්වය. ඉතිං හිතාගන්නකෝ winter එකේදි මොන වගේ ඇතිද කියල. Image: India Today

කාශ්මීරය

ආ itinerary එක ගැන කිව්වෙ නෑනේ. ඒක කියන්න කාශ්මීරය ගැන පොඩි අදහසක් දෙන්න වෙනවා. මේ සිතියමේ පේනව වගේ කාශ්මීරය ඇත්තටම කොටස් තුනක් තියෙනවා. ජම්මු සහ කාශ්මීර් (Jammu & Kashmir) එකතු කරල එක ඒකකයක් සහ ලඩක් (Ladakh) වෙනම වශයෙන්. අපි ගිහින් ආවට පස්සෙ අවුරුද්දෙ ඉඳන් මේ කොටස් වෙන වෙනම මධ්‍යම රජය මගින් පාලනය වෙන්නේ දැන් නම්. ඒ දවස් වල ස්වයං පාලන අයිතිය තිබුණ තනි ප්‍රාන්තයක් මේ කොටස් තුනම එකතු කරපු සම්පූර්ණ කාශ්මීරයම.

Map of Kashmir. Image: BBC

ජම්මු කියන්නෙ හින්දු ආගම අදහන පන්ජාබිවරු බහුතරයක් ඉන්න පළාතක්, කාශ්මීර් කියන්නෙ මුස්ලිම් වරු 98%ක් විතර ඉන්න පළාතක්, ලඩක් කියන්නෙ 60-70%ක් විතර බෞද්ධාගමිකයින් වන ටිබෙට්වරු ඉන්න පළාතක්. ඒ වගේම ලඩක් තමයි මේ තුනෙන්ම විශාලම පළාත.

මේ කාශ්මීරය සම්පූර්ණ ඒකකයක් විදියට ගත්තම පාකිස්ථනයට සහ චීනයට මැදි වෙලා තියෙන හිමාල කඳුවැටිය මැද නිම්නයක හිරවුණ සීතලම සීතල බිමක්. මේ දේශසීමා දෙකට active යුද්ධයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි පාකිස්ථානය හා චීනයත් දේශසීමාවට අරගල කරනවා. ලෝකයේ න්‍යෂටික බලතුන් තුන්දෙනෙක් වන චීනය – ඉන්දියාව – පාකිස්ථානය එකිනෙකා සටන් කරගන්න ලෝකයේ උසින්ම පිහිටි සටන් බිම ලෙස මේක හඳුන්වන්න පුළුවන්. සාමන්‍යයෙන් උස මීටර 3000 සිට 6000කට වැඩි උස කඳු මුදුන් දක්වා විහිදෙන මේ සටන් බිම සොබා අලංකාරය අතින් නම් ඉහළම තැනක් ගන්න ඉසව්වක්.

අන්න ඒ නිසාම තමයි මට මේ අමුතුම ලෝකය බලන්න යන්න සෑහෙන වුවමනාවක් තිබුණේ.

ගමනේ මම ආසම තැනක් Zojila Pass සහ Zero Point පසු කර ටිකක් දුර ඉදිරියට යද්දි දැකපු දර්ශනයක්.

සැලසුම

ඉතිං දැන් කියන්නම් itinerary එක. මම මුලින් කිව්වනේ මනාලි පැත්තෙනුත් එන්න පුළුවන් කියල. ඒත් ඒක ටිකක් වැඩි වැඩක් වෙනවා අපට තියෙන කාලයත් එක්ක බැලුවාම. මොකද ගමන යන්න ආපු සමහරුන්ට දවස් 8න් ආපහු එන්න ඕන කිව්වා. ඒ නිසා සහ තව වියදම් සහ අනෙකුත් කාරණා එක්ක අපි තීරණේ කළා කෙළින්ම කාශ්මීර් වල අගනුවර විදිහට සැලකෙන ශ්‍රීනගර් වලට ගුවනින් යන්න. ඒ කියන්නෙ බටහිර පැත්තට. මනාලි වලින් ගියා නම් ගමන පටන් ගන්නෙ නැගෙනහිර පැත්තෙන්.

කොහොම හරි ශ්‍රීනගර් වල දවස් තුනක් යන දවසත් ඇතුළුව, ඊළඟ දවස් දෙක Leh වලට යන ගමන. මේකත් 450 km විතර වෙන දවස් දෙකක් යන ගමනක්. එක දිගට නොනවත්වා ගියොත් නම් එක දවසින් යන්න පුළුවන්. ඒත් අපි යන්නේ ට්‍රිප් එකක් නේ. ඉතින් දවස් දෙකක් අරන් හෙමින් යන්නයි කල්පනාව. මොකද මේක තමයි ට්‍රිප් එකේ highlight එක. හොඳම සහ ලස්සනම කොටස. ඊළඟ දවස් තුන ලඩක් වල Leh නගරය අවට ඉන්න තමා සැලසුම. ඒ සැලසුමට මොකද වුණේ කියල ඒ හරියට ආවම කියන්නම්.

පළවෙනි දවස – ගුවන් ගමන සහ ශ්‍රීනගර් (Srinagar) අවට
දෙවෙනි දවස – පහල්ගම් (Pahalgam): පුංචි ස්විට්සර්ලන්තය
තුන්වන දවස – ගුල්මාර්ග් (Gulmarg): හිම කඳු මුදුන් කරා
හතරවන දවස – සෝනමාර්ග් (Sonamarg) සහ කාර්ගිල් (Kargil): ලඩක් යන අතරමඟ
පස්වන දවස – ලේ(හ්), ලඩක් (Leh, Ladakh): ටිබෙටය පාමුල
හයවන දවස – ශ්‍රී ලන්කන් පාස්පෝට් සහ ටිබෙට් පන්සල් (Matho, Hemis and Stok)
හත්වන දවස – ඉපැරණි ආර්ය නගරයක් (Leh city)
අටවන දවස – ආපසු ගමන

ගුවන

ඉතින් අනික් සියල්ල සූදානම්, ගුවන් ටිකට් සහ වීසා ගන්න එක අවසාන කටයුත්ත. SkyScanner website එකේ මාස ගාණක් බලන් ඉඳල අන්තිමට පුළුවන් වුණ අඩුම ගාණට ටිකට් ගත්තා. අඩුවට තියෙනව දැක්ක ගමන් බුක් කරේ ඔෆිස් එකේ ඉන්න ගමන්. යන්න SpiceJet අඩු වියදම් ගුවන් සේවාවක්. ඒ අත්දැකීම ගැනත් ඉදිරියට කියන්නම්. එන්න සෙට් වුණේ මගේ තවත් යාළුවෙක්ගෙ ආදරණීය Jet Airways. ඒක නම් full-service airline එකක්. හැබැයි ඒක දැන් බංකොලොත් වෙලා වහල. ඔව් ඔව් අපි ගියපු නිසා තමා. වෙන එකක් තියා අපි ආපු MAX8 වර්ගයෙ ගුවන් යානයක් ඊට දවස් කීපෙකට පස්සෙ කඩන් වැටිලා අවුරුදු දෙකකට වඩා ඒ වර්ගයෙ යානා භාවිතයෙන් ඉවත් කරල තිබුණා 😁

වීසා

ඊට පස්සෙ වීස ගන්න අර කලින් පාර ගියපු IVS Lanka එකටම යන්න වුණා මොකද ඒක තමා Indian Embassy එකෙන් පත් කරල ඉන්න නියෝජිත ආයතනය. ඒකෙ උන්ගෙ හිරිහැර විඳල වීසත් ගත්ත යන්න සති කීපෙකට විතර කලින්.

දැන් සේරම හරි. ඉතුරු වෙලා තියෙන්නෙ ගුවන් ගතවෙන්න විතරයි. ඉතුරු ටික කියවන්න ඊළඟ කොටසින් හමුවෙමු.