උදේම නැගිට්ටා වගේ නොවෙයි සීතල. ශ්‍රීනගර් සාමාන්‍යයෙන් කාශ්මීරයේ අනෙක් පැති වලට සාපේක්ෂව සීතල අඩු නගරයක්. ඒත් ළඟ එන සීත ඍතුව නිසා ශ්‍රී නගර් වල උෂ්ණත්වයත් සෙල්සියස් අංශක 5කට අඩු අගයකයි උදේ පාන්දර වන විට තිබුණේ. හිරු ක්‍රමයෙන් නැගී එද්දී සීතල අඩු වුණ නමුත් නගරයෙන් පිටත කඳුකරයට යද්දී නැවතත් සීතල ක්‍රමයෙන් වැඩි වනවා. කොහොම වුණත් මේ ඇරඹුම පමණයි. අපගේ කාශ්මීර ගමනේ අවසාන භාගයේ සෙල්සියස් අංශක ඍණ 10 පමණ වන උෂ්ණත්ව වල ගත කරන්නට සිදුවුණා.

පළවෙනි දවස ඉවර කරද්දි කලින් episode එකේ පොඩි වැරදීමක් වුණා. මම කිව්වෙ දෙවෙනි දවසේ ගුල්මාර්ග් යනවයි කියලනේ. දෙවෙනි දවසෙ අපි ගියේ පුංචි ස්විට්සර්ලන්තය නමින් හඳුන්වන පහල්ගම් ප්‍රදේශයට. පහල්ගම් කියන්නෙ එක තැනක් නෙවෙයි ලොකු ප්‍රදේශයක් පුරා පැතිරුන ස්විස් ඇල්ප්ස් වලට සමානකම් කියන පරිසරයක් ඇති අතිශය රමණිය ප්‍රදේශයක්.

යුධපිටිය

මුලින්ම අපි ඊයේ ගිය ප්‍රදේශයට සෑහෙන වෙනසක් ඇති ශ්‍රීනගර් වල දකුණු ප්‍රදේශය හරහා නගරයෙන් එළියට ආවේ අමුතුම හැඟීමක් එක්ක. අද තමයි අපි හොඳාකාරව දැක්කේ කොතරම් හමුදා presence එකක් කාශ්මීරයේ තියෙනවද කියල. දැනගන්න ලැබුණ විදියට ලක්ෂ 14ක් වන සම්පූර්ණ ඉන්දීය හමුදාවෙන් ලක්ෂ 7ක්ම ඉන්නේ කාශ්මීරයේ. ඉන්දීය හමුදාව සත්‍ය සංඛ්‍යාලේඛන හෙළදරව් නොකළත් ලක්ෂ 5ත් 9ත් අතර ගණන් ගැන විවිධ මූලාශ්‍ර වල සඳහන් වනවා. මුළු නගරය පුරාම හමුදා ට්‍රක් රථ 10-20 පමණ හෝ නගරයෙන් පිටත නම් රථ 30-40 පමණ වන පෙළවල් (convoys) වශයෙන් ගමන් කරන එක බොහොම සුලබ දසුනක්.

Military convoys are a common sight everywhere in Kashmir

මම කලින් episode එකේ කිව්ව වගේ හින්දු බහුතරය විසින් පාලනය වනවාට පාකිස්ථානයට හිතවාදී කාශ්මීරි මුස්ලිම් ජනතාවට එය ඇසට කටු අනින්නාක් මෙන් ඇතිවාට කිසිඳු සැකයක් නෑ. අපේ රියදුරා කලින් දවසේ කිව්වා වගේ ඔවුන් ඉන්දීය හමුදාවට බල්ලන්ට මෙනුයි බැන වදින්නේ. ඉන්දීය හමුදාව කාශ්මීරයේ රැඳී සිටීම සාධාරණීකරණය කරන වදන් කාශ්මීරි, උර්දු, හින්දි සහ ඉංග්‍රීසියෙන් තැන තැන ප්‍රදර්ශනයට තබා තිබෙනු සුලබව දකින්න තිබෙනවා.

කොතරම් දැඩි රැකවල් මැද වුවද ත්‍රස්තවාදී කණ්ඩායම් සැඟවී සිට පහරදීම් නොකඩවා සිදු කරනවා. මේ ත්‍රස්තවාදී සංවිධාන පාකිස්ථාන සහය ඇතිව ක්‍රියාත්මක වන සංවිධාන බවට ඉන්දීය රජය විසින් කරන චෝදනාව බැහැර කළ නොහැකි එකක් බව එහි වැසියන් සමඟ කතා කළ පමණින්ම සිතාගත හැකියි. අප ශ්‍රීනගර් වලට ගොඩබට ඊයේ දිනයේ ද සිවිල් වැසියන් දෙදෙනෙක් සහ තවත් හමුදාවේ 10ක් පමණද මරා දමා තිබුණේ අද දින අප හට යාමට ඇති මාර්ගයේමයි.

අඳුරෙන් එළියට

මේ අඳුරු සෙවනැලි වලින් මිදී අප නගරයෙන් ඉවතට ඇදෙදී කාශ්මීරය කොයිතරම් නම් සාමකාමීව තිබිය යුතු තැනක්දැයි අපට දැනුනේ වැඩි වෙලාවක් යන්නට මත්තෙන්.

අප මේ ගමන් කරන්නේ ජම්මු දිස්ත්‍රික්කය දෙසට යන අධිවේගී මාර්ගයක. මේ මාර්ගය එවකට සම්පූර්ණ කර තිබුණේ නැති බැවින් ගාස්තු අය කිරීමක් වූයේ නැහැ. ඉන්දියානු highways බොහොමයක් freeway ගණයේ මාර්ග. ඒවා සංවෘත මාර්ග නොවෙයි. බයිසිකල්, ත්‍රීවීල්, පාපැදි, අත් කරත්ත පමණක් නොව ගොන්නු හෝ පෝනින් බැඳි කරත්ත පවා මේ මාර්ග වල ගමන් ගන්නා අවස්ථා නැතුවා නොවෙයි.

Newly built Srinagar – Jammu Highway

සැෆ්රෝන්

ගමනේ මැද හරියකදී ශෙයර් අපව කුළුබඩු වෙළඳසලකට කැඳවාගෙන ගියේ ප්‍රදේශයේ වවන විශේෂිත කුළුබඩු වර්ග රැසක්ම ඇති බව පෙන්වමින්. මට දැන් ඒ සියල්ලම මතකයේ නැති නමුත් ඒ අතරින් සැෆ්රෝන් (Saffron) විශේෂයි. ඔබ සමහරවිට දන්නවාත් ඇති මේ සැෆ්රෝන් ඉතාම මිල අධික කුළුබඩු වර්ගයක්. Blackberry, Raspberry වැනි බෙරි වර්ග රැසකුත් මේ වෙළඳසැලේ විකිණීමට තිබුණා.

භූගෝලය

මඳ දුරක් එම මාර්ගයේ ගමන් ගත් අප අතුරු මගකට හැරී ගමන් ගන්නට ගත්තේ වෙනස් භූමිදර්ශනයක් සහිත ප්‍රද්ශයක් හරහා. ඔබ ලෝක සිතියමෙහි නිරීක්ෂණය කළහොත් පෙනේවි කාශ්මීරය ඇත්තේ හිමාල කඳුවැටියේ බටහිරට වන්නට එහෙත් කඳුවැටිය ඇතුළට වන්නට. ඉහත සිතියමේ ටිබෙටය ඇත්තෙන්ම සානුවක්. එහි හිමාලයේ දකුණු අන්තයේ මෙන් උස් කඳු දක්නට නැහැ. එය එකම ආකාරයක භූමිලක්ෂන සහිත අති විශාල භූමි ප්‍රදේශයක්. හිමාලයේ බටහිර අන්තය ගත්විට එය නැගෙනහිර අන්තයට හෝ නේපාලය – භූතානය අවට ප්‍රදේශයට වඩා වෙනස්. මේ කලාපයේ හිමාල කඳුවැටියේ දකින්න තිබෙන සෑම භූවිෂමතා ලක්ෂණයක්ම පාහේ මිශ්‍රව පවතින ප්‍රදේශයක්. ඒ නිසා කිලෝමීටර 100න් 100ට පමණ භූමි දර්ශනය වෙනස් වීම සැමවිටම දකින්න ලැබෙන්නක්.

පහල්ගම්

ශ්‍රී නගර් සිට කිලෝමීටර 90ක් පමණ දුර ගමන් කර අප පහල්ගම් ප්‍රදේශයට ළඟා වූයේ පැය කිහිපයකට පසුව. අපේ අරමුණ Pahalgam Baisaran trail එකේ කොටසක් ආවරණය කරන්න. ඒත් මේ ගමන දුශ්කරයි. පයින් යන්න සෑහෙන කාලයක් ගත වනවා මෙන්ම ඉතාම ශීඝ්‍ර ආනති සහිතව ඇති කඳු නැගීමට සෑහෙන මහන්සියක් වන්නට වනවා. ගමනින් පසුව අපට විවේක ගන්නට කාලයක් නොලැබෙන බැවින් ඒ ගමන පෝනින් පිට යන්නට තීරණය කලේ ඒ සඳහා තිබෙන ප්‍රසිද්ධ මාධ්‍යක් බැවින්.

ශෙයර් අපට හෙට්ටු කර පෝනින් කණ්ඩායමක් හඳුන්වා දුන්නේ අපට යාමට අවශයව තිබූ පහල්ගම් trail එකේ කොටසක ළඟාවීමට. ඇත්තෙන්ම කලින් කිව්වා වගේ Pahalgam ඉතා විශාල ප්‍රදේශයක්. මගේ පහළ බැච් එකක මල්ලි කෙනෙක් පහල්ගම් වල සතියක් හෝ දෙකක් ගත කළ බව කිව්වේ මම මේ සංචාරය සංවිධානය කළ අවධියේ. නමුත් අපට ඇති කාලයත් එක්ක එක දවසක් පමණයි මේ සඳහා වෙන් කළ හැකි වූයේ.

ඉන්දියන් ඇල්ප්ස්

පෝනින් පිට නැඟි අප පැය ගණනක් තිස්සේ ගමන් කළේ චචනයෙන් කියා විස්තර කළ නොහැකි තරම් අපූරු පරිසර පද්ධතියක් තුළින්. පයින් වෘක්ෂයන්ගෙන් ගහණ කැළෑ සහ තෘණ භූමි ඔස්සේ වැටුණු අඩි පාර දිගින් දිගටම වැටී තිබුණේ හරිම අපූරු බිම් ඔස්සේ.

ඉතින්… ඒ මනරම් පරිසරය විස්තර කරන්නට මා දක්ෂ ලේඛකයෙක් නොවෙයි. එනිසා ඒ දර්ශන මා වචනයෙන් විස්තර නොකර ඡායාරූපයෙන්ම ගෙන එන්නම්. ඔබ එහි විනිශචයකරුවා වන්න.

ගමනේ දෙවන දිනය අවසානයේ හෝටලට පැමිණෙන අතරතුර ඇපල් වත්තක අති ප්‍රණීත ඇපල් යුෂ පානයටත් අවස්ථාව ලැබුණා. අප සුපිරි වෙළඳසැල් වලින් මිලට ගන්නා ඇපල් යුෂ මෙන් නොව අලුත්ම ඇපල් යුෂ වල රස මෙතකැයි කියන්න බැහැ.

ගමන අවසානයේ අපගේ පශ්චාත් භාග නම් හිරිවැටී තිබුණේ දවස පුරා පෝනින් පිට ගමන් කිරීම නිසාවෙන්. දහවල් ආහාර ගැනීමට ඉඩක් නොලැබුණු නිසා හෝටලයට පැමිණ එහි බුෆේ එකේ තිබුණු රසවත් ආහාර කිඹුලන් කිරිමැටි ගිලින්නාක් මෙනුයි ගිල දැමූයේ. රාත්‍රී ආහාරය ගෙන වෙහෙස නිවාගන්නට වෙලාසන නිදාගත්තේ හෙට දිනයේ ගුල්මාර්ග් යන අරමුණෙන්.