වීස ගත්ත තැනට වෙනකන් කලින් ලිපියෙන් කිව්වනේ ගමනේ පෙර සූදානම ගැන.
දැන් ඉතිං ඇත්තටම කාශ්මීරය හරහා ගමන පටන් ගන්න දවසත් උදා වුණා. රෑ 2ට විතර කොළඹින් පිටත් වෙන SpiceJet ගුවන් සේවයේ ගුවන් යානකින් මුලින්ම ඉන්දියාවේ Chennai වලට ආවා. මම කලින් episode එකේ කිව්වනේ පුළුවන් තරම් ගණන් අඩුවටයි මේ air tickets book කළේ කියල. ඉතිං සල්ලි ඉතුරු කළා නම් දැන් කටු කන වෙලාව. මේක budget airline එකක්. කෑම ගිනි ගණන්. ඒ මදිවට අපේ ගමන තියෙන්නේ මුලින් චෙන්නායි බැහැලා තව domestic flight එකකින් දිල්ලිය හරහා ශ්‍රීනගර් යන්න. සම්පූර්ණ ගමනට පැය 10ක්! කෙළින්ම ගියා නම් ලන්ඩන් හරි මෙල්බන් හරි යන්න යන වෙලාව. 😂
Chennai
Chennai ගිහින් තියෙන අය දන්නව ඇති airport එක අන්තිම අපිළිවෙල තැනක් කියල. ඒ මදිවට Chennai කියන්නෙ තමිල්නාඩුවෙ අගනුවර. මෙතනින් තමයි අපි ඉන්දියාවට ඇතුළුවෙන්නේ. අපි ලංකාවෙන් කියල දැනගත්ත ගමන් පටන් ගත්තා Immigration එකෙන් තග දාන්න. අපේ immigration forms වැරදියට පුරවල කියල මුලු airport එකටම ඇහෙන්න බැනල තව මදිවෙලා අපිව දැම්ම වැඩිදුර ප්‍රශ්න කරන්න කාමරේකට අපි කාශ්මීර් යනව කිව්වම. පස්සෙ ඉතින් එතන එයාලට ඊට වඩා දෙයක් කරන්න බැරි වුණාම ඔන්න යන්න කිව්වා. ආයෙ නම් ජීවිතේට චෙන්නායි transit දාගන්නෙ නෑ.
දැන් එළිවෙළා. උදේට කන්නත් ඕන. දන්නවනේ airport වල කෑම වල ගණන්. ඉතිං අපට සැන්විච් එකක් සහ කෝපි එකකින් උදෑසන ආහාරය නිම කරගන්න වුණා. ටිකක් වෙලා එතන හිටපු අපි ගියා ඊළඟ ප්ලේන් එකට. දිල්ලියෙ මොනව හරි maintenance වැඩක් නිසා අපේ flight එක පැය බාගයක් ඉඳලයි යන්නෙ කිව්වා. අර උදේ පාන්දර වුණත් ප්ලේන් එකක් ඇතුළට දාල වැහුවම පුදුමාකාර දාඩියයි රස්නෙයි. එහෙම ඉඳල කොහොමින් හරි පරක්කු වෙලා දිල්ලියට ආවා. වෙලාවට අපට ඊළඟ section එක යන්න plane එකෙන් බහින්න අවශ්‍ය නෑ. අපි හිටපු එකමයි ශ්‍රීනගර් යන්නෙ. නැත්තං ඒ පරක්කු වුණ විදියට flight miss වෙලා පරිප්පුවක් කන්නත් වෙනවා.
ගොඩබැස්සවීම
දිල්ලියට එනකම් එච්චර දෙයක් නෑ, කලිනුත් ඇවිල්ල තියෙනවනේ. මෙතනින් එහාට තමයි හොඳම හරිය. ගුවන් යානය ටිකෙන් ටික උතුරු දිගට පියාසර කරද්දි ටිකෙන් ටික පහළින් කඳු පෙනෙන්න ගන්නකොට, ඒ කඳු මුදුන්වල හිම පිරිල තියෙනව දකිනකොට ඒ දැනුන අමුතු හැඟීම මේක ලියද්දිත් ඒ වගේම දැනෙනවා. ඒක මාර හැඟීමක්. පැය එකහමාරක් විතර ආපු ගුවන් යානය ගොඩබැස්සුවා Srinagar Sheikh Ul Alam International Airport එකට. වටේම ගුවන් හමුදාවෙ ප්‍රහාරක යානා නවත්තල තියෙන නවීන පෙනුම තියෙන බලකොටුවක් ඒක. හැබැයි අපිව ලොකුවට check කළේ නම් නැහැ.
මේ ගුවන් යානා වල එන්නෙ වැඩිපුරම සංචාරකයො. එතනින් එළියට ආපුවම ඉන්නෙ සංචාරකයො අරන් යන්න ආපු tour guidesලා සහ taxi රියදුරන්. අපේ රියදුරා Sher Ali මගේ නමත් ගහපු බෝඩ් එකක් අරගෙන ආවා අපිට පිළිගන්න. වාහනේට නැගපු ගමන් අපි කිව්වෙ කන්න එක්ක යන්න කියල. අපි ඒ තරමට බඩ ගින්නෙ හිටියෙ. ඇත්තටම ඊට කලින් දවසේ රෑ 11ට විතර කෑවට පස්සෙ හරි හමන් කෑමක් කාල නෑ.
කෑම
Sher මරු, අපිව එක්ක ගියා Srinagar වල Dal Lake එකේ කෙළවර හරියේ තැනකින් හැරිලා ඇතුළට. පොඩි restaurent එකක් Sunset Boulevard Restaurant කියලා. එක්කෙනෙක් ඉන්දියන් රුපියල් 1500ක විතර කෑවා ඒ තිබුණ බඩගින්නට. ඒ කෑම තරම් රස කෑමක් කාල නෑ කාලෙකට. ඒ කෑම ඒ තරමටම රසයි. කාශ්මීරයෙ හිටපු සතියට කාපු එක කෑම එකක්වත් තිබුණෙ නෑ රස නැති. කාශ්මීරි කෑම ඒ තරමටම රසයි. ප්‍රධානම වශයෙන් Mutton based dishes තමයි තියෙන්නෙ. එළුවන්, බැටළුවන් දෙවර්ගයම තියෙනවා. සාමාන්‍ය උතුරු ඉන්දීය කෑම වල තියෙන අමු කුළු බඩු රස නෙවෙයි මේවයේ තියෙන්නෙ දිව්‍යමය රසක්.
බල්ලො
ඔහොම ඉතිං බඩපැලෙන්න කාපු අපි ඊළඟට ගියේ නගරය අවට බලන්න. ඒ යන ගමන් මම ශෙයර් ගෙන් ඇහුවා කොහොමද එයාල කාශ්මීරෙ තත්ත්වෙ දකින්නෙ කියල. මම හිතන්නෙ පිටින් එන සංචාරකයො හැමෝම මේ රියදුරන්ගෙන් ඔය ප්‍රශ්නෙ අහනව ඇති. මම ඇත්තටම බලාපොරොත්තු වුණාට වඩා වෙනස් උත්තරයක් ශෙයර් දුන්නෙ.
ශෙයර් කියන විදියට එයාල ඉන්දියාව කාශ්මීරය අල්ලගෙන ඉන්නවට කැමති නෑ. හමුදාවට කියන්නෙ ඉන්දියන් බල්ලො කියල ( Indian dogs ). අපිත් එක්ක කිව්වෙ නම් එයාලට වෙනම ඉන්දියාවටත් නැතුව, පාකිස්ථානයටත් නැතුව නිදහස් කාශ්මීරයක් ඕන කියල තමයි. ඒත් පස්සෙ කතා කරපු විදියට නම් පාකිස්ථානයට වැඩි කැමැත්තක් තියෙන බව පේන්න තිබුණා. මොකද එයාල ක්‍රිකට් තරඟයක් තිබුණත් පාකිස්ථානයට සපෝට් කරන බව කිව්වා. ඒ වගේම කාශ්මීරයේ මුස්ලිම් බහුතරය (98%) නිසා නිසඟවම පාකිස්ථානය ගැන කැමැත්තකින් කතා කරන බව තේරුණා පස්සෙ කතා කරද්දිත්.
මෝගල්
ඉතිං කොහොම හරි ශෙයර් අපට නගරය පෙන්නන්න සුවිසල් Dal Lake එක අයින දිගේ ගිය අපි Srinagar වල තියෙන Unesco ලෝක උරුමයක් වන Mughal gardens කිහිපයෙන් එකක් වන Nishat Garden එකට ගියේ හවස් වරුව ගත කරන්න. මේ උද්‍යාන Mughal gardens කිව්වට 16වැනි ශතවර්ශයේ මෝගල් ආක්‍රමණ වලට පෙර කාශ්මීරය හින්දු ප්රදේශයක්ව තිබුණු 14 වන ශතවර්ෂය වගේ කාලයේදීත් පැවතිලා තියෙනවා.
ඉතින් උද්‍යානය ඉදිරිපිට Dal විල මතින් හිරු අවරට යද්දි Srinagar වල අපට නවතින්න වෙන් කරගෙන තිබුණු Rose Petal හෝටලය වෙත ආවා. සෑහෙන හොඳ මට්ටමක හෝටලයක්. හොඳ බුෆේ එකක් උදේට තියෙන, කාමර හොඳ පිරිසිදු වායු සමනය කළ මධ්‍යම ප්‍රමාණයේ හෝටලයක්. අනවශ්‍ය ලෙස අති දීර්ඝ ගුවන් ගමනක යෙදුනත් හවස් වෙද්දි අපට මහන්සියක් නොතිබුණේ exitement එක, රසවත් කෑම සහ ලස්සන දර්ශන නිසා වෙන්න ඕන.
බාර් එක
තව දෙයක් කියන්න බැරි වුණා. ඒක නොකිව්වොත් අඩුපාඩුවක්. මුළු කාශ්මීරයටම තියෙන්නෙ (මුළු ප්රාන්තයම නොවෙයි. ජම්මු සහ ලඩක් හැර ඉතුරු කොටසට) එකම එක බාර් එකක් විතරයි. ඒකට හේතුව කාශ්මීරයේ ජනගහනය 98%ක් මුස්ලිම් වීම. ඔවුන්ගෙ ආගමට අනුව ඔවුන්ට මධ්‍යසාර පාවිච්චිය අකැපයි කියලයි කියන්නේ. ඉතිං මේ බීමහල තියෙන්නෙ ඉතුරු 2%ක් වන සික් ජාතිකයින් සඳහා. හැබැයි බාර් එකේ පොරය දැක්කම නම් හිතුණේ බාර් එකෙන් ප්‍රයෝජන ගන්නේ සික් ජාතිකයින් විතරක් නෙවෙයි කියලා.
ඉතින් ගමනේ මුල්ම දවස ඒ විදියට නිමා වුණේ පහුවදා උදේම පහල්ගම් හි පුංචි ස්විට්සර්ලන්තය වෙත යන බලාපොරොත්තුවෙන්.
ඊළඟ කොටසින් ඒ ගැන කියවන්න.