ශ්‍රී ලංකාවේ EMD වංශ කතාව

Share

ලංකාවේ දුම්රිය ලෝලීන් බහුතරයක් ආසා කරන එන්ජිමක් තමයි කැනේඩියන් එන්ජිම. මේ එන්ජිම හදල තියෙන්නෙ කැනඩාවේ ලන්ඩන්හි පිහිටි General Motors Diesel (GMD) නමින් හඳුන්වන ඇමරිකාවේ General Motors Electro Motive Division (GM – EMD) සමාගමට අනුබද්ධිත ආයතනය මගින්. අපි අද කතා කරන්න යන්නෙ මේ සමාගම සහ මේ සමාගමේ නිෂ්පාදන අප රටේ භාවිතා වෙන අයුරු ගැන. විශේෂයෙන්ම මේ EMD සමාගම ගැන කතා කරන්න හේතුව නම් ලංකවේ අති සාර්ථක එන්ජින් පන්ති තුනකටම මේ සමාගමේ දායකත්වය ලැබී ඇති නිසාවෙන්.

මුලින්ම අපි බලමු මේ  General Motors Electro Motive Division (GM – EMD) සමාගම මොකද්ද කියල.  General Motors නම් වූ අති දැවැන්ත සමාගම විශේෂයෙන්ම රථවාහන නිපදවන සමාගමක්. මෙහි දුම්රිය එන්ජින් නිපදවන ශාඛාව  Electro Motive Division (EMD) නමින් හැඳින්වුණා. මේ සමාගම ලෝකයේ අතිශයින් සාර්ථක වූ එන්ජින් මාදිලි රාශියක්ම හඳුන්වා දුන් සමාගමක්.

EMD ලංඡනය

මේ සමාගම 2005 වර්ෂයේදී Greenbriar Equity Group LLC සහ Berkshire Partners LLC යන සමාගම්වලට විකුණා දැමෙන්නේ Electro Motive Division යන නම Electro Motive Diesel යන නමට වෙනස් කරමින්. ඉන් අනතුරුව 2010දී Progress Rail Services Corporation නම් සුප්‍රකට Caterpillar සමාගමට සම්පූර්ණයෙන් අනුබද්ධිත සමාගමට විකුණා දැමෙනවා. දැන් EMDහි අයිතිය හිමිවන්නෙ මේ Caterpillar සමාගමට.

දුම්රිය එන්ජිමක් ගත් විට එහි බල සැපයුම් එන්ජිම හා සම්පූර්ණ ඒකකය සැලකූ විට ලෝකයේ භාවිතා වන බොහෝ දුම්රිය එන්ජින් වල මේ කොටස් දෙක සමාගම් දෙකක් නිපදවූ ඒවා. අප අද කතා කරන EMD සමාගම මේ සෑම ආකාරයකම නිෂ්පාදන නිපදවූ සමාගමක්. සම්පූර්ණ ඒකකය සැලකූ විට,

  • Road switchers
  • General Purpose Locomotives
  • Special Purpose Locomotives
  • Export Locomotives 

සහ තවත් කාණ්ඩ යටතේ එන්ජින් අති විශාල සංඛ්‍යාවක් EMD විසින් නිපදවා තිබෙනවා.

මේවයින් කෙලින්ම EMD සමාගෙමෙන් ලංකාවට ආනයනය කර ඇති එකම එන්ජින් වර්ගය Export Locomotives කාණ්ඩයට අයත් EMD වර්ගීකරණයට අනුව GM EMD G12 නමින් හඳුන්වන වර්ගයේ (ලදුදෙ වර්ගීකරණයට අනුව M2 පන්තිය) අප කවුරුත් හොඳින් හඳුනන කැනේඩියන් එන්ජින්. ඊට අමතරව M6 සහ M7 එන්ජින්වල බලසැපයුම් එන්ජිම ඉහත කී EMD සමාගමේ නිෂ්පාදනයන්. මේවායින් M6 පන්තියේ එන්ජින් EMD වර්ගීකරණයේ EMD G22CW යනුවෙන් හඳුන්වන අතර M7 එන්ජින් සඳහා EMD වර්ගීකරණ නාමයක් භාවිතා වන්නෙ නැත. නමුත් ආසන්න වශයෙන් EMD SW1001 නම් EMD වර්ගීකරණ නාමය M7 එන්ජින් සඳහා ගැලපෙනවා.

බලසැපයුම් එන්ජින් නාමකරණය සැලකූවිට EMD 567, EMD 645 වැනි නාම දැකිය හැකියි. මේවායේ සිලින්ඩර ධාරිතාව ඝණ අඟල් වලින් මිනුම්කළ විට ලැබෙන 567, 645 යන අගයන් කෙලින්ම එන්ජින් මාදිලි අංකයට යොදා තිබෙනවා.

Class M2

මේ ගැන දීර්ඝ විස්තරයක් මීට පෙර ලිපියක දැක්වූවා මතක ඇති ඒ නිසා මෙහි මේ ලිපියට අදාළ කරුණු පමණක් මෙහි සටහන් කරන්නම්.

මෙහි කැනඩාවේ නිපදවූ M2, M2a, M2b, M2c යන පන්තීන් සඳහා EMD 567C V12 වර්ගයේ අශ්වබල 1425ක ද්විත්ව පහර බලසැපයුම් එන්ජින් යොදගෙන ඇති අතර සිමෙන්ති සංස්ථාව සඳහා ගෙන්වා දැන් ලදුදෙ මගින් පාවිච්චි කෙරෙන ඇමරිකාවේදී නිපදවූ M2d පන්තිය සඳහා EMD 567E V12 වර්ගයේ අශ්වබල 1310ක ද්විත්ව පහර බලසැපයුම් එන්ජිමක් යොදාගෙන තිබෙනවා.

EMD G12 මාදිලියේ M2a 591 අංක 591 දරණ සුනාමියට අසුවූ එන්ජිම

මේවා කැනඩාවේ හා ඇමරිකාවේ පිහිටි GM EMD කර්මාන්තශාලාවල නිපදවූ සම්මත (එනම් පාරිභොගිකයා අනුව කිසිදු වෙනස්කමක් නොකළ) මාදිලියේ එන්ජින්. මේවා EMD වර්ගීකරණයට අනුව EMD G12 යනුවෙන් හැඳින්වෙන අතර 1036ක් වැනි විශාල ප්‍රමාණයක් නිපදවා තිබෙනවා.

ආජන්ටිනාවේ භාවිතාවන EMD G12 එන්ජිමක්
ඡායාරූපය:RailPictures.net

තායිවානයේ භාවිතාවන EMD G12 එන්ජිමක්. තායිවාන සමහර G12 එන්ජින් EMD 645 එන්ජිම යොදා නවීකරණය කර තිබෙනවා.
ඡායාරූපය: RailPictures.net

Class M6

මෙම එන්ජිම ජර්මනියේ Henschel-Thyssen සමාගම EMD සමාගමේ බලපත්‍රයක් මත ඇමරිකාවේ නිපදවන ලද EMD 645E V12 වර්ගයේ ද්විත්ව පහර බලසැපයුම් එන්ජිමක් යොදාගෙන ජර්මනියේදී නිපදවූවක්. මෙය අශ්වබල 1650ක එන්ජිමක්.
මෙය EMD G22CW යන EMD වර්ගීකරණයෙන් හැඳින්වෙන අතර වෙනත් සමාගමක් මගින් නිපදවූවත් EMD බලපත්‍රය මත නිපදවූ නිසා මෙය කෙලින්ම EMD වර්ගීකරණ නාමයෙන් හඳුන්වනවා.

EMD G22CW මාදිලියේ M6 අංක 796 දරණ එන්ජිම
ආජන්ටිනාවේ භාවිතා වන EMD G22CW මාදිලියේ එන්ජිමක්
ඡායාරූපය: RailPictures.net

Class M7

මෙම එන්ජිම එංගලන්තයේ මහ රැජනගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ලංකාවට ගෙන ආ එන්ජිමකි. එංගලන්තයේ Brush Bagnall සමාගම විසින් EMD 645E V8 වර්ගයේ අශ්වබල 1000ක ද්විත්ව පහර එන්ජිමක් භාවිතා කර නිපදවා ඇත. මෙයට EMD මාදිලි අංකයක් නොමැති අතර ආසන්න වශයෙන් EMD SW1001 යන මාදිලිය ගත හැක. මීට හේතුව නිශ්චිතව කිව නොහැකි අතර සමහරවිට EMD සමාගමේ බලපත්‍රයකට සෑදූ එකක් නොවන නිසා විය හැකියි.

පසුසටහන

ශ්‍රී ලංකාවේ භාවිතා වන EMD බලසැපයුම් එන්ජින් මාදිලි වලට පසුව EMD සමාගම මගින් එන්ජින් මාදිලි දෙකක් නිපදවා තිබෙනවා. EMD 710 (ද්විත්ව පහර) සහ EMD 265H (H engine) (සිවු පහර) යනුවෙන් ඒවා හඳුනාගත හැකියි. මේවායින් EMD 710 පෙර පරිදිම එන්ජින් ධාර්තාව කියුබික් අඟල් වලින් 710ක් වන නිසා එසේ නම් කළ එකක් වන අතර, EMD 265H එනමින් නම් කර ඇත්තේ bore diameter එක 265mm වන නිසයි.

ලොව ඇති බලසම්පන්නම එන්ජින් මාදිලි දෙකක් වන මේවා 6300hp (EMD 265H V16 මාදිලිය) සහ  5000hp (EMD 710G3B-EC V20 මාදිලිය) වැනි අතිශය බලවත් එන්ජින් වනවා.

සටහන: V8, V12, V16, V20 යනුවෙන් එන්ජින් මාදිලි අංකයට පසුව යොදා ඇත්තේ එහි ඇත්තේ V එන්ජිමක් බව හා එහි ඇති සිලින්ඩර සංඛ්‍යාවයි. සිලින්ඩර සංඛ්‍යාව වැඩිවත්ම එකම වර්ගයේ එන්ජිමක වුවත් ජවය වැඩි වනවා. 
උදා: 
M6 – EMD 645E V12 – 1650hp
M7 – EMD 645E V8 – 1000hp

මූලාශ්‍ර: විකිපීඩියාව