බදුල්ලට අළුත් ශීඝ්‍රගාමී දුම්රියක්

Share

මේ දුම්රිය ඇත්තටම අළුත්ම අළුත් එකක් නෙවෙයි. අළුතෙන් ගෙනා Class S12 වර්ගයේ බලවේග කට්ටලයක් යොදා ගනිමින් 2012 ඔක්තෝම්බර් 19 වනදා සිට නානුඔය දක්වා ධාවනය කරවූ ශීඝ්‍රගාමී දුම්රියම තවත් එම වර්ගයේම බලවේග කට්ටලයක් යොදා ගනිමින් බදුල්ල දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඇත්තෙන්ම මේ දීර්ඝ කිරීම සිදුකර මේ වන විට මඳ කාලයක් ගත වී ඇතත් මේ ගැන ලියන්නට සිටියේ මෙහි ගමන් කර ඒ අත්දැකීම විඳිමෙන් අනතුරුව වුවත් නොයෙකුත් හේතු නිසා ගමන කල් යැවුණා. තවත් සෑහෙන්න කාලයකට මෙහි යාමට හැකියාවක් නොලැබෙන බව පෙනීගිය නිසාත්, මගීන් අතර මේ දුම්රිය තවමත් ජනප්‍රිය වී නැති බව පෙනුන නිසාත් මෙහි කාලසටහන මේ අයුරින්වත් බෙදා ගන්න හිතුවා.

කාලසටහන Yakada Yaka – Sri Lanka Railways වෙතින්.
වඩාත් පැහැදිලිව බැලීමට පින්තූරය මත ක්ලික් කරන්න

බොහෝ අය සිතන පරිදි උඩරට ධාවනය සඳහා මුල්වරට බලවේග කට්ටල යොදන්නේ මේ දුම්රිය සඳහා නොවෙයි. ඒ පොඩි මැණිකේ මංගල චාරිකාව සඳහා එක්දහස් නවසිය හැටේ (1960) දශකයේදීයි. ඒ සඳහාම මැදිරි නවයකින් යුක්ත වූ Class S3 වර්ගයේ බලවේග කට්ටල මෙරටට ගෙන එනු ලැබුවා. එකල පොඩි මැණිකේ නානුඔය දක්වා පමණයි ධාවනය වූයේ. ඉන් අනතුරුව කලක් පොඩි මැණිකේ සඳහා S3 බලවේග කට්ටල භාවිතා වුවත් පසුව නෙයෙකුත් හේතූන් නිසා S3 පොඩි මැණිකෙන් ඉවත් වූවා. පොඩි මැණිකේ බදුල්ලට දීර්ඝ කිරීමත් ඊට හේතුවක් වන්නට ඇති.

කෙසේ වුවද ඉන් අනතුරුව විවිධ බලවේග කට්ටල විටින් විට නොයෙකුත් විශේෂ දුම්රියන් සඳහා උඩරට මාර්ගයේ මහනුවර දක්වා ධාවනය වූවත් දිනපතා ධාවනය බලවේග කට්ටල දුම්රියක් යෙදවෙන්නේ මේ නානුඔය ශීඝ්‍රගාමී දුම්රිය ධාවනයට එක්වීමත් සමඟයි.

මෙහි පළමු පන්තියේ වායු සමීකරණයෙන් යුක්ත වෙන් කළ හැකි ආසන සහිත මැදිරියක්, දෙවන පන්තියේ වෙන් කළ හැකි ආසන සහිත මැදිරියක්, දෙවන පන්තියේ සාමාන්‍ය මැදිරි දෙකක්, තුන්වන පන්තියේ මැදිරි තුනක් හා තුන්වන පන්තියේ ආසන සහිත භොඩන රථයක් ඇතුළුව මැදිරි අටක් සහිතයි. දෙපසින් ඈඳා ඇති අශ්ව බල 2000 බැගින් වූ ජව සම්පන්න එන්ජින් දෙකකින් දුම්රිය අදිනු ලබන අතර දුම්රිය චීනයේ නිෂ්පාදනයක්. (වැඩි විස්තර සඳහා.)

ගාස්තු අවස්ථා දෙකකින් යුක්තව ආසන වෙන්කිරීම් කළ හැකි අතර නානුඔයෙන් ගාස්තු අවස්ථා බෙදෙනවා.

මේ වන විට කුමක් හෝ හේතුවක්මත උඩරට මැණිකේ හා පොඩි මැණිකේ දුම්රියන්හි මැදිරි අඩුවෙන් යොදවා ධාවනය කරවන බවක් දක්නට ලැබෙන අතර මෙම දුම්රිය ඊට විකල්පයක් වශයෙන් මගීන්ට භාවිතා කළ හැකියි.

ප/ලි: කෝච්චි පාරවල් ගැන ලිපියේ දෙවන කොටස ලියමින් පවතිනවා. මේ දිනවල පොඩි අසනීප තත්වයක් නිසා ඊට කාලය මිඩංගු කිරීමට නොහැකි වූවා. ඉක්මනින්ම ඉතුරු ටික ලියන්නම් 🙂

ප/ලි2: පෙබරවාරි 14 වනදා සිට උඩරට මැණිකේ දුම්රිය සඳහාත් මාර්තු 1 වනදා සිට පොඩි මැණිකේ දුම්රිය සඳහාත් Class S12 වර්ගයේ බලවේග කට්ටලයක් ධාවනය වන අතර ඒ සඳහා ධාවනය වන මැදිරි අනුපිළිවෙල මෙසේයි. AFC – SCR – 2xSC – TCBU – 2xTC – TCR

ගාස්තු: කොටුව සිට බදුල්ල දක්වා, Air-conditioned First Class (AFC) 1250/=, Second Class Reserved (SCR)
600/=, Third Class Reserved (TCR) 400/=

AFC – වෙන්කළ ආසන පළමු පන්තිය වායුසමීකරණය කරන ලද
SCR – වෙන්කළ ආසන දෙවන පන්තිය
SC – සාමාන්‍ය දෙවන පන්තිය
TCBU – සාමාන්‍ය තෙවන පන්තිය හා භෝජන රථය
TC – සාමාන්‍ය තෙවන පන්තිය
TCR -වෙන්කළ ආසන තෙවන පන්තිය.

එමෙන්ම අළුතින් ධාවනයට එක් කළ අංක 1007 හා 1008 දරණ ශීඝ්‍රගාමී දුම්රියට මෙතෙක් ධාවනය වූ Class S12 වර්ගයේ බලවේග කට්ටලය වෙනුවට ඒ සඳහා රුමේනියන් මැදිරි සමඟ Class M6 වර්ගයේ එන්ජිමක් සහිතව ධාවනය වේ.
ගාස්තු :
ධාවනය වන මැදිරි මෙසේයි. OFV – SCR – SC – TC – Private – TV

OFV – පළමු පන්තියේ නැරඹුම් මැදිරිය
SCR – වෙන්කළ ආසන දෙවන පන්තිය
SC – සාමාන්‍ය දෙවන පන්තිය
TC – සාමාන්‍ය තෙවන පන්තිය
Private – Expo / Rajadhani
TV – සාමාන්‍ය තෙවන පන්තිය සමඟ තිරිංග මැදිරිය