Viceroy Special ~ වයිස්රෝයි විශේෂ දුම්රිය

Share

ශ්‍රී ලංකාව තුල දේශීය හෝ විදේශීය සංචාරකයෙකුට ගල් අඟුරු වලින් ධාවනය වන සැබෑම දුම් කෝච්චියක චාරිකාවක් යෑමට තිබෙන එකම අවස්ථාව Viceroy විශේෂ දුම්රියයි. බ්‍රිතාන්‍ය පාලන සමය සිහිගන්වන එකම ජීවමාන සිහිවනය වශයෙනුත් මෙය හඳුන්වන්නට පුළුවන්.

අති සුඛෝපභෝගී විශේෂ දුම්රියක් වන මෙම දුම්රිය JF Tours නම් පුද්ගලික ආයතනයක් මගින් ධාවනය කෙරෙයි.

ඡායාරූපය: Daily Mirror

මෙහි ඉතිහාසය ගැන සැලකූ විට වාෂ්ප දුම්රිය ලෝලියෙකු වන JF Tours ආයතනයේ සභාපති හේමසිරි ප්‍රනාන්දු සහ ලේඛකයෙකු මෙන්ම දුම්රිය රසිකයෙක් වන ක්ලිෆර්ඩ් එල්. ජෝන්ස් (Clifford L. Jones) යන මහත්වරුන්ගේ අදහසකට අනුව 1984දි පමණ ඇරඹුණු ව්‍යාපෘතියකි.

වසර දෙකකට ආසන්න කාලයක් මෙම ව්‍යාපෘතිය නිමා වීමට ගත වී ඇති අතර, බ්‍රිතාන්‍ය පාලන සමයේ ගෙන්වූ වාෂ්ප එන්ජින් කිහිපයක් (B1 සහ B8 පන්තිවල එන්ජින්) පිළිසකර කර බ්‍රිතාන්‍ය සමයේම ගෙන්වූ මැදිරි වල චැසි උපයෝගි කරගනිමින් නව සුඛෝපභෝගී මැදිරි දෙකක් හා භෝජන රථයක් නිෂ්පාදනය කිරීමත් මෙහිදි සිදුවිය.

ඡායාරූපය: Daily Mirror

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ එවකට සාමාන්‍යාධිකාරී G.P.S වීරසූරිය, නියෝජ්‍ය ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු S.D.M. මහින්දරත්න සහ දෙමටගොඩ ධාවනාගාරයේ ප්‍රධාන ෆෝමන් පරමනාදන් යන මහත්වරුන්ගේ සහය මේ සඳහා ලැබී ඇත.

1986 පෙබරවාරි 2 වන දින මුල්ම සවාරිය ගිය මේ Viceroy Special දුම්රිය සඳහා වාෂ්ප එන්ජින් කිහිපයක් භාවිතයට ගැනුනි. Class B1a 251 “Sir Thomas Maitland” එන්ජිම හා Class B1d 340 “Sir Fredrik North” එන්ජිම මේ සඳහා භාවිතා විය.

ඡායාරූපය: Daily Mirror

ඡායාරූපය: Daily Mirror

මේ වසරේ 25වන සංවත්සරය සැමරුවේ කලක් ධාවනය නොකර තිබුණු දුම්රිය එන්ජින් හා මැදිරි යළි පිළසකර කිරීමෙන් අනතුරුවයි. නමුත් එදින ධාවනය වූ වාෂ්ප එන්ජිමේ (B1d 340) හටගත් කාර්මික දෝෂයක් නිසා පිටුපසින් M5c වර්යේ එන්ජිමක් යොදා තල්ලු කිරීමට සිදුවිය.

පිටුපසින් M5c එන්ජිමක් යොදා ඇති අයුරු.
ඡායාරූපය: Daily Mirror

මේ වන විට පැරණි බ්‍රිතාන්‍ය මැදිරි පාවිච්චි නොකරන අතර ඒ වෙනුවට චීන සුඛෝපභෝගී මැදිරි දෙකක් හා භෝජන රථයක් භාවිතයට ගනී. වයිස් රෝයි දුම්රිය මේ වන විට නිතර ධාවනය නොකරන අතර වාෂ්ප එන්ජින් ඉතා පැරණි ඒවා වීම නිසා නියමාකාරයෙන් ක්‍රියා නොකිරීම නිසාත් ගල් අඟුරු මගින් ධාවනයට ඉතාමත් අධි පිරිවැයක් දැරීමට සිදුවීම නිසාත් මෙම දුම්රිය අභාවයට යෑමේ අවදානමක් පවතී.

මේ වන විට භාවිතා වන චීන මැදිරි. මහනුවරදී.
ඡායාරූපය: මන්දාලක ධනසේකර

25 වන සංවත්සරය කොළඹ සිට රඹුක්කන දක්වා වයිස්රෝයි දුම්රිය ගමන් කරවමින් සමරන ලද අතර එහිදී සමරු මුද්දර කිහිපයක් නිකුත් කරන ලදි.

මේ එම සමරු මුද්දර සහිත මුල් දින කවරයයි