මොකද්ද මේ කෝච්චි එන්ජින් වල LOAD කියන්නෙ

Share

බලන්න ඉහත ඇති දුම්රිය එන්ජින් අංක තහඩු වල LOAD යනුවෙන් යමක් සඳහන් වෙලා තිබෙනවා නේද? කවදා හෝ ඔබට එය කුමක්දැයි සීතී තිබෙනවාද? මේ කියන්න යන්නේ මේ LOAD කතන්දරේ ගැනයි…

M6 වර්ගයේ එන්ජිමක අංක තහඩුව
M5c වර්ගයේ මෑතකදී මෙරටදී නවීකරණය කරන ලද M5c එන්ජිමක අංක තහඩුව

සුදු ජාතිකයින් මෙරට දුම්රිය සේවය ඇරඹුවෙ ප්‍රධාන වශයෙන් භාණ්ඩ ප්‍රවාහනය සඳහායි. ඉතින් මේ LOAD  යනුවෙන් සඳහන්ව ඇති අගය සටහන් කිරීම හඳුන්වා දුන්නෙත් භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය යොදවන කාලයෙදිමයි.

LOAD අගයෙන් කියවෙන්නෙ යම් එන්ජිමක් දෙන ලද මාර්ගයක උපරිම වශයෙන් ඇදගෙන යා හැකි බර ප්‍රමාණය ගැන අදහසක්. මේ ගණනය සඳහා දැඩි ආනතීන්වලින් යුක්ත මාර්ග ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවා. ලංකාවේ දුම්රිය මාර්ගයක ඇති උපරිම ආනතිය 1:44ක්. රඹුක්කන-කඩුගන්නාව අතර 1:45ක්ද තලවකැලේ-නානුඔය අතර 1:44ක ආනතියක්ද දක්නට ලැබෙනවා. සම්පූර්ණ විස්තරයක් මෙතනින්.

මේ සඳහා එන්ජිමේ බර බර(Weight) ප්‍රකර්ෂණ බලය (tractive effort) සහ ඇක්සල පිහිටීම (Axle Arrangement) යන කරුණු බලපානවා. ඒ අනුව එක් එන්ජිමකට එක් LOAD අගයක් ලබා දෙනු ලබනවා. ඉන්පසු ඒ එන්ජිමට එක් එක් මාර්ග කොටස් වල ගෙනයා හැකි උපරිම බර පිළිබඳව සටහන් කල වගුවක් එනම් load table එකක් සකසනු ලබනවා. කෙසේ වුවත් 1982න් පසු මෙවන් load tables සකස් කිරීමක් සිදුවී නැහැ.

M2 වර්ගයේ (Load H) එන්ජිමක් සඳහා එකල (1960දී) තැනූ load table එකක සඳහන් වූ ආකාරයට සාමාන්‍ය රුමේනියන් මැදිරියක බර 3ක් ලෙස සැලකූවිට පහත සඳහන් උපරිම බරක් ඇදිය හැකියි.

&nbsp UP DOWN
කොටුව (FOT) – රඹුක්කන (RBK) 65
රඹුක්කන (RBK) – කඩුගන්නාව (KGW) 25 40
කඩුගන්නාව (KGW) – පේරාදෙණිය (PDA) 45 40
පේරාදෙණිය (PDA) – ගම්පොළ (GPL) 40 32
ගම්පොළ (GPL) – නාවලපිටිය (NVP) 32 34

Note:
මෙහි UP යනුවෙන් හැඳින්වෙන්නේ කොළඹ සිට බදුල්ලට දෙසට යන දුම්රිය වලට හා DOWN යනුවෙන් දක්වා ඇත්තේ බදුල්ල සිට කොළඹ දෙසට යන දුම්රිය වලටය.

නමුත් මේ අගයන් ඉතා පැරණි අගයන් වන අතර M2 වර්ගයේ එන්ජින් වලට අද වන විට මෙහි සඳහන් බරක් ඇදිය නොහැකියි.

ඉහත අයුරින්ම සාමාන්‍ය රුමේනියන් මැදිරියක බර 3ක් ලෙස සලකා විවිධ දුම්රිය එන්ජින් වලට එකම මාර්ග කොටසක (section) ඇදිය හැකි උපරිම බර මේ අයුරින් සඳහන් වූයේ 1980 වසරේදීයි.

එන්ජින් පන්තිය උපරිම බර
M1 (LOAD F) 18
M2,M2a,b (LOAD H) 26
M2c (LOAD H) 28
M4 28
M5 (LOAD V1) 26
M6 (LOAD V2) 26
W1 (LOAD S) 18
W2 (LOAD T) 28

කෙසේ වුවද මේ LOAD අගය කිසිදු ප්‍රමිතියකට අනුව සූත්‍ර ගත කළ එකක් නෙවන බව පෙනී යනවා. එකල වාෂ්ප එන්ජින් වලට යෙදූ අගයන් පසුව ඩීසල්-විදුලි එන්ජින්වලටද යොදා තිබෙනවා මෙන්ම මෑත කාලීනව ගෙන්වූ M8 වර්ගයේ එන්ජින් වලට කිසිදු ගණනය කිරීමක් නොමැතිව LOAD අගයක් ප්‍රදානය කර තිබෙනු දක්නට හැකියි. N2, W3, M4, M9 සහ M10 වර්ගයේ එන්ජින් වල LOAD අගයක් දක්නට නැහැ. සාමාන්‍යෙයන් Diesel Multiple Units (DMU) සඳහා LOAD rating එකක් දක්වන්නෙ නැති වුවත් S3 DMU එක සඳහා LOAD R යනුවෙන් අගයක් දී තිබූ බවත් Dr. Hyatte’s Railways of Sri Lanka Suppliment II හි සඳහන් වෙනවා

මෑත කාලීනව නවීකරණය කරනු ලැබූ M5c පන්තියේ එන්ජින් වලට තාර්කානුකූල එමෙන්ම අංකිත LOAD අගයක් දී තිබෙනු ඉහත දෙවන රූපයේ දකින්න ඇති. 22/45 යනුවෙන් සඳහන්ව ඇති මෙහි තේරුම වනුයේ 1:45 හෝ 1:44 ආනති වලදී ටොන් 10.5හේ රෝද හතරේ භාණ්ඩ ප්‍රවාහන රථ 22ක් හා තැනිතලා මාර්ගයේ එම රථ 45ක් ගෙන යා හැකි බවයි. මෙය ඉතා හොඳ LOAD වර්ගීකරණයක් වුවත් අළුතින්ම ගෙනා M10 පන්තියේ එන්ජින් වල කිසිදු LOAD අගයක් සටහන් කර නැහැ.

පහතින් දක්වන්නේ මෙතෙක් දුම්රිය එන්ජින් සඳහා LOAD අගයන් ලබාදුන් ආකාරයයි.

Broad Gauge

LOAD CLASS
A B1 to B7
B D1, D2
C D3, F1
D F2
E B8, F3
F M1
H M2
J A1, A2
K C1
L A3
M B9, B10
N E1, M3
P G1
Q G2
R Y, (S3)
S W1
T W2
V1 M5, M5B
V2 M6
V3 M8
X M5A, M7
Z Y1
22/45 M5C

Narrow Gauge

LOAD CLASS
G N1
R H1
S J1, J2
T K1, P1
U L1

ආශ්‍රිත: