විල්වත්තේ මහා දුම්රිය අනතුර

Share

M2 572 “British Colombia” නම් වූ දැවැන්තයා විසින් අදිනු ලැබූ 1964.10.16 වැනිදා රාත්‍රියේ තලෙයි මන්නාරමෙන් පිටත් වුණ “තලෙයිමන්නාරම් බෝට්ටු දුම්රිය” හෙවත් “අංක 400” දරණ දුම්රිය පසුදා එනම් 17වනදා උදෑසන 6:15ට අඹේපුස්ස දුම්රිය ස්ථානය පසු කර 1:130ක ආනතියක් ඔස්සේ පහළට පැමිණ ඊට විනාඩි තුනකට පසු එනම් 6:18ට මීරිගම විල්වත්තේ S හැඩයට ඇති (reverse curve) (කොළඹ සිට 31m 60ch-31m 20ch අතර (m=miles ch=chains)) වංගුව අසලදී පීලි පැන මහත් විනාශයක් සිදු කරනු ලබනවා.

මෙම දුම්රිය, මගීන් සහිත මැදිරි 4කුත්, පාර්සල් තිරිංග මැදිරි (PBV) දෙකකුත්, restaurent car 1ක්, Sleeping car 1ක්, භාණ්ඩ ප්‍රවාහන ගැල් 15ක් (7 new (BCGS) & 8 old type CGS) සහ BLW 1කින් සමන්විත විය.

රියදුරා පැය 14කට වඩා එකදිගට නිදි නොලබා රාජකාරියේ යෙදීසිට ඇති අතර පැයට කිලෝමීටර 56ක වේග සීමාවක් ඇති ස්ථානයක පැයට කිලෝමීටර 77ක වේගයෙන් ගමන් කර ඇත. පීලි පැනීමෙන් පසු එන්ජිම හා භාණ්ඩ ප්‍රවාහන ගැල් 9ක් (1 BLW, 8 CGW) අඩි 1510ක් දුරට ඇදීගොස් ඇත. රියදුරු වශයෙන් E.H. ඇලෙක්සැන්ඩර්, සහයක වශයෙන් H.M. චන්‍ද්‍රසේකර, උප නියාමක වශයෙන් S. දිවාකර, ප්‍රධාන නියාමක වශයෙන් S.A.D.B. පෙරේරා යන මහත්වරුන් කටයුතු කර ඇත.

මෙහිදී මගීන් 22දෙනෙකු මියගොස් තවත් 88 දෙනෙකුට බරපතල තුවාල සිදුවුණා. මගී මැදිරි දැවයෙන් නිමවූ ඒවා වීම හානිය ප්‍රබල කරවන්නක් වුණා. අවසානයේ දුම්රිය මාර්ගය මත ඉතිරි වූයේ  දුම්රියේ මැදිරි 23කින් අවසාන මැදිරිය වූ පාර්සල් තිරිංග මැදිරිය (PBV-Parcel Brake Van) පමණයි.

මෙම අනතුර පිළිබඳව පරීක්‍ෂණ කළ කමිටුව විසින් එන්ජිමේ වේග මාපකයක් නොමැති වීම. රියදුරා එකදිගට පැය 14කට වඩා සේවයේ යෙදවීම. වේග සීමාව නිර්ණය කිරීමේදී දුම්රියේ වර්ගීකරණය අවුල් සහගත වීම. (තැපැල්, ශීඝ්‍රගාමී, මගී, මිශ්‍ර, භාණ්ඩ යනාදී වශයෙන්) ආදී කරුණු අවධාරණය කරන්නට යෙදුනා. එමෙන්ම මෙහි තිබූ පැරණි CGS වර්ගයේ ඇක්සල දෙකකින් පමණක් සමන්විත වූ ඇක්සල දෙක අතර දුර 7′ 6″ ක් වූ භාණ්ඩ ප්‍රවාහන ගැල් වලට මෙම වේගය දරා ගැනීමට නොහැකි ඇති අතර අධික වේගයකදී ඒවා දෙපසට ගැස්සීමට පටන් ගනී. පීලි පැනීම ඇරඹෙන්නට ඇත්තේ මෙමගින් විය යුතුය.

අනතුර සිදු වූ අවස්ථාවේදී දුම්රිය ගමන් කළ වේගය නිර්ණය කිරීමට මගීන්ගේ සාක්‍ෂි, පීලිපැනීම සිදුවූ මුල් ස්ථානයේ සිට අඩි 1510ක් ඇදීයාම, අඹේපුස්සේ සිට මෙම ස්ථානයට පැමිණීමට ගතවූ විනාඩි 3ක පමණ සුළු කාලය වැනි කරුණු සහ පරීක‍්ෂණ ගමන් වාර කිහිපයක් කර බැලීමට සිදුවුණා.

ඡායාරූප: British Pathé