ලංකාවෙ කෝච්චි පාරවල්

Share

අපි කෝච්චි ගැන කතා කළාට කෝච්චිය දුවන පාර ගැන කතා කරනව අඩුයි කියලයි මං හිතන්නෙ.

අපි අද කතා කරන්නෙ ලංකාවෙ තියෙන දුම්රිය මාර්ග ගැන. ඇත්තටම මේක කුඩා පෝස්සට් එකකින් කතා කරල ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ කරන්න යන්නෙ යන්තම් දළ අදහසක් ලබාදීමක් විතරයි.

ලංකාවෙ තියෙන්නෙ මට්ටම් කර සකස් කරන ලද පාරක් උඩ කළුගල් අතුරා ඊට උඩින් කොන්ක්‍රීට්, යකඩ හෝ දැව සිල්පර මත වානේ පීලි දෙකක් එළා සවි කර සකස් කර ගන්නා ලද දුම්රිය මාර්ග. කම්පනය උරා ගැනීම සඳහා තමයි කළු ගල් යොදන්නෙ. මේ කළු ගල් ඇතිරීම සඳහා දැන් විශේෂිත උපකරණ තිබෙන අතර අතීතයේදී සියල්ල සිදු වූයේ මිනිස් ශ්‍රමයෙන්.

දුම්රිය මාර්ග ජාලය

ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය බැලුවොත් ප්‍රධාන නගර සෑහෙන්න ප්‍රමාණයක් ආවරණය කරමින් දුම්රිය මාර්ග ජාලයක් පැවතුනත් පවතින මාර්ග ජාලය කෙහෙත්ම සෑහෙන්නේ නැති බව කවුරුත් පිළිගන්නා කාරණයක්.

මේ තියෙන්නෙ ලංකාවෙ දුම්රිය මාර්ග ජාලය

රූපය උපුටාගත්තෙ දුම්රිය දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන්
මාර්ග සිතියම පරිමාණයට නම් නෙවෙයි තියෙන්නෙ

ශ්‍රී ලංකා දුම්රිය සේවය මගින් ඉහත මාර්ග වලට අංක ලබා දී ඇති ආකාරය පහතින් දක්වා තිබෙනවා.
  1. මරදාන – පේරාදෙණිය හන්‍දිය – බදුල්ල (ප්‍රධාන මාර්ගය)
  2. පේරාදෙණිය හන්‍දිය – මහනුවර – මාතලේ
  3. රාගම – පුත්තලම
  4. පොල්ගහවෙල – කන්කසන්තුරේ (දැනට ඕමන්තේ දක්වා පමණයි) සහ මිහින්තලේ මාර්ගය
  5. මැදවච්චිය – තලෙයි මන්නාරම (මැදවච්චිය සිට මාර්ගය සම්පූර්ණයෙන්ම නැවත තනමින් පවතී)
  6. මහව‍ හන්‍දිය –  ගල‍්ඔය හන්‍දිය  – මඩකලපුව
  7. ගල්ඔය හන්‍දිය – ත්‍රිකුණාමලය
  8. කොළඹ කොටුව – ගාල්ල – මාතර
  9. මරදාන – අවිස්සාවේල්ල (ඕපනායක දක්වා තිබූ මාර්ගය 75/76 කාලයේදී ගලවා ඉවත් කරන ලදි)

මේ මාර්ග අතුරෙන් කොළඹ සිට ප්‍රධාන මාර්ගයේ රඹුක්කන දක්වාත්, මුහුදුබඩ මාර්ගයේ දකුණු කළුතර දක්වාත්, පුත්තලම් මාර්ගයේ සීදූව දක්වාත් ද්විත්ව මාර්ග (Dual track) පවතිනවා.

මීට අමතරව මුහුදුබඩ දුම්රිය මාර්ගය මාතර සිට පිලදූව දක්වා කිලෝමීටර දෙකක් දීර්ඝ කර ඇති අතර පිලදූව දක්වා දැනට දුම්රිය සේවා පවත්වන්නේ නැත.

Track Gauge

වානේ පීලි යෙදූ දුම්රිය මාර්ග ගැන කතා කරද්දි Gauge එක, එහෙමත් නැත්නම් ආමානය ගැන කතා නොකරම බෑ. Track gauge එක වශයෙන් හඳුන්වන්නෙ පීලි දෙක අතර ඇති ලම්භක දුරයි.

Track gauge

දැනට ලංකාවෙ භාවිතා වෙන්නෙ ලෝකයේ සාමාන්‍යයෙන් භාවිතා වෙන ආමාන (Gauge) වලින් පුළුල්ම ආමානය වන ඉන්දියානු ආමානය. එනම් පීලි අතර දුර අඩි 5යි අඟල් 6ක් (1676 mm). අතීතයේදී කැළණිවැලි දුම්රිය මාර්ගය, සබරගමු දුම්රිය මාර්ගය හා උඩපුස්සැල්ලාව දුම්රිය මාර්ගය අඩි 2යි අඟල් 6ක් (762 mm) වූ පටු ආමාන දුම්රිය මාර්ගයක් ලෙස පැවතුනා. එමෙන්ම විවිධ කර්මාන්තශාලා පරිශ්‍රයන්හි මීට වෙනස් සහ කුඩා ආමාන දුම්රිය මාර්ග පවත්වාගෙන ගොස් තිබෙනවා.

කර්මාන්තශාලාවක වූ 2″ (300 mm) මාර්ගය
උපුටාගත්තේ Dr. Hyatt ගේ Railways of Sri Lanka (Suppliment II) වෙතිනි.

ගලවා ඉවත් කරන ලද මාර්ග

J2b # 161 රත්නපුර දුම්රිය ස්ථානයේදී. 1974 මාර්තු 16
Dr. Hyatt ගේ Railways of Sri Lanka Suppliment II වෙතින් උපුටා ගන්නා ලදි.

1975දී සබරගමු මාර්ගය රත්නපුර-ඕපනායක කොටසද 1976/77 කාලයේදී අවිස්සාවේල්ල-රත්නපුර අතර කොටසට ගලවා ඉවත්කර තිබෙනවා. ගලවා ඉවත් කරන ලද සියලුම මාර්ග කොටස් පටු ආමාන (2′ 6″) මාර්ග විය.

1977 ජූලි මාසයේදී අවිස්සාවේල්ල-රත්නපුර අතර සබරගමු මාර්ගය ගලවා ඉවත් කරමින්. P1 # 527 එන්ජිම මෙහි දකුණු පසින්ම දැක්වේ.
Dr. Hyatt ගේ Railways of Sri Lanka Suppliment II වෙතින් උපුටා ගන්නා ලදි.

අනතුරුව 1990 දශකයේ මුල් භාගයේ එනම් 1991/92 කාලයේදී කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා පටු මාර්ගය ද්විත්ව ආමාන (Dual gauge) මාර්ගයක් බවට පත් කෙරෙනවා. එනම් 5′ 6″ සහ 2′ 6″ යන ආමාන දෙකේම දුම්රිය ගමන් කළ හැකි පීලි තුනක මාර්ගයක් ලෙසින් යළි සකස් කරනු ලබනවා. නමුත් පසු කාලීනව ද්විත්ව ආමාන මාර්ගය තනි පුළුල් ආමාන මාර්ගයක් බවට පත් කරන්නේ පුංචි කෝච්චියේද අවසානය සනිටුහන් කරමින්.

ද්විත්ව ආමාන කරන ලද මාර්ගයේ විශේෂ වාෂ්ප දුම්රියක් ධාවනය වන අවස්ථාවක්
Dr. Hyatt ගේ Railways of Sri Lanka Suppliment II වෙතින් උපුටා ගන්නා ලදි.
ද්විත්ව ආමාන කරන ලද මාර්ගයේ ඉතිරි වී ඇති මාර්ග කොටසක්. හෝමාගම දුම්රිය ස්ථානය අසල.

මීට අමතරව 1948දී ගලවා ඉවත් කරන ලද උඩපුස්සැල්ලාව පටු (2′ 6″) දුම්රිය මාර්ගයත් 1942දී ගලවන ලද කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල සිට යටියන්තොට දක්වා කොටසත් (පටු මාර්ගය) ලංකාවේ දුම්රිය මාර්ග ජාලයට අයත්ව තිබුණා.

උඩුපුස්සැල්ලාව මාර්ගය ආරම්භ වූ ස්ථානය

මාර්ග සංඥා

මේ දුම්රිය මාර්ග වල දුම්රිය ගමනාගමනය සිදු කරද්දී ආරක්ෂාකාරී ගමනක් උදෙසා විවිධ සංඥා ක්‍රම භාවිතා කරනු ලබනවා. බ්‍රිතාන්‍ය යුගයේදී මෙරටට හඳුන්වා දුන් සැමපෝ සංඥා ක්‍රමය මින් ප්‍රධානයි. සැමපෝ සංඥා සමඟ එකටම ක්‍රියාත්මක වන ටැබ්ලට් ක්‍රමය ගැන මීට පෙර ලිපියක සටහන් කළා ඔබට මතක ඇති.

  • උඩරට මාර්ගයේ රඹුක්කනින් එපිට
  • කැළණි වැලි මාර්ගයේ මරදාන හා අවිස්සාවේල්ල අතර
  • උතුරු, ත්‍රි’මලේ, මඩකලපු මාර්ගවල පොල්ගහවෙලින් එපිට
  • පුත්තලම දුම්රිය මාර්ගයේ මීගමුවෙන් එපිට.

සැමපෝ සහ ටැබ්ලට් සංඥා ක්‍රමය භාවිතා වෙනවා.

සැමපෝ සංඥා

සැමපෝ – ටැබ්ලට් ක්‍රමය ඉතා දීර්ඝ කාලයක් දිවයින පුරා පැවතී අනතුරුව මෑත යුගයේදී එනම් 1960 දශකයේදී හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඩී. රම්පාල මහතා විසින් වර්ණ සංඥා ක්‍රමය හඳුන්වා දුන්නා.

මේ වන විට කොටුව/මරදාන සිට පල්ලෙවෙල හා මීගමුව දක්වා මරදාන පාලන මැදිරියෙන් පාලනයවන මධ්‍යගත පාලන ක්‍රමයක් (CTC- Centralized Traffic Controlling) සහිත වර්ණ සංඥාත්, පල්ලෙවෙල සිට රඹුක්කන දක්වා ප්‍රාදේශියව පාලනය වන ABS (Automatic Block Signals) ක්‍රමයකුත් මුහුදුබඩ මාර්ගයේ කොටුව සිට ගාල්ලේ කටුගොඩ දක්වා NMA සංඥා සහ මරදාන සිට අවිස්සාවේල්ල මාර්ගයේ කෙටි දුරක් දක්වා විමධ්‍යගත පාලන ක්‍රමයක් සහිත සැමපෝ වලට සමාන වර්ණ සංඥා ක්‍රමයක්ද භාවිතා කෙරෙනවා.

මීට අමතරව වේග සීමා පුවරු සහ අනතුරු හැඟවීමේ සංඥා මාර්ගයේ බොහෝ විට මාර්ගයේ වම් පසින් (මහා මාර්ගයේ මෙන්) සිටුවා තිබෙනු දක්නට හැකියි.

Repeating signals

වේග සීමා පුවරු

තව විස්තර ඇතත් එක පොස්ට් එකකට ගොනු කරීමට අපහසු හෙයින් ඉදිරි පෝස්ටුවක පළ කරන්නම්.