තනිවම දුම්රියෙන් බදුල්ලට – අටුවාව

Share

මීදුම මැදින් බදුලු කෝච්චියේ යන ගමන ඇබ්බැහිවෙන සුලුයී.❤️

මේ මම දැන් ටිකකට කලින් දැකපු FB පෝස්ට් එකක කැප්ෂන් එක.

මම මුලින්ම තනියම ට්‍රිප් එකක් යන්නෙ 2009 අගෝස්තු දෙවෙනිදා. ඒ කොළඹ ඉඳන් බදුල්ලට කෝච්චියෙ ගිහින්. ඒ ට්‍රිප් එක ගැන මම කාලෙකට කලින් මගෙ බ්ලොග් එකට ලිව්වා.

මේ ඒකට අටුවාව.

එදා බදුල්ලට යද්දි හවස හයත් පහුවෙලා. යකෙක් කන්න බඩගිනියි. මුතියංගණ විහාරෙ හිටපු මැදිවියේ අන්කල් කෙනෙක්ගෙන් ඇහුව කෑම කන්න හොඳ තැනක් දන්නවද කියල. පොර හාමිනේගෙනුත් අහල දුල්සර එකෙන් කන්න කිව්වා.

මමත් පාර අහගෙන ගියා. තිබුණ පොඩි කඩයක් ඒකෙන් කෑම එකක් ගත්ත. (සෑහෙන පස්සෙ කාලෙක තමයි දැනගත්තෙ මම ගියපු කඩේ නෙවෙයි ඒකට පාරෙන් අනික් පැත්තෙයි දුල්සර එක තියෙන්නෙ කියලා.) කොහොම හරි ඒ බත් එක ආපහු මුතියංගණේට අරන් ඇවිල්ල ඒක ඇතුලෙන් museum එකකට යන පාරක තියාගෙන කෑවා. මෙලෝ රහක් නෑ. බඩගින්නට ටිකක් කාල ඉතුරු ටික විසි කළා.

දැන් හතාමාරට විතර ඇති. දැන් බස් ස්ටෑන්ඩ් එක හොයාගන්න ඕන. තව කාගෙන් හරි ඒකත් අහගත්තා. (මේ කියන කාලෙ ගූගල් මැප් තිබුණෙ නෑ. තිබුණත් ස්මාට්ෆෝන් එකක් අතේ තිබුණෙත් නෑ. ඉන්ටනෙට් නෑ අතේ පයේ.)

පාර වැරදිලත් කොහොම හරි බස් ස්ටෑන්ඩ් එකත් හොයාගත්ත. වෙලාව 8ට කිට්ටු වෙලා. ඒකෙ බලු බල්ලෙක් නෑ. පැත්තක කොළඹ ප්‍රයිවට් සෙමියක් නවත්තල තිබුණා. මට ඔය බදුල්ල – කොළඹ ප්‍රයිවට් සෙමි පේන්න බෑ. ඔය අමාරුව නිසා ගියා ශ්‍රීලංගම කාර්යාලය කියන එකට. ඒකෙ හිටිය ගෝතයො දෙන්නෙක්.

මම ඇහුව CTB එකක් තියෙන්නෙ කීයටද කියල. උන් කියපි ආය නෑ. අරකෙ යන්න කියල සෙමිය පෙන්නුවා. උන් ලංගම සේවකයො වුනේ මොන මඟුලකටද කියල කල්පනා කළේ. මොකද ඒ කාලෙ වුණත් මම ලාවට දැනන් හිටිය ලක්සිරිය රෑ ටර්න් එකක් තියෙනව කියල. ඒ විතරක් නෙවෙයි තව CTB bus රෑ යනව කියල හොඳටම දැනන් හිටපු නිසා. ලක්සිරිය කියන්නෙ බස් ජනසතුවෙන් පස්සෙ දුර ගමන් සේවා වලට සුව පහසු බස් දාපු පළවෙනි බස් ගමන්වාරය. (මම වැරදි නම් නිවැරදි කරන්න)

මම ඒක නිසා ආයෙත් CTB කොළඹ බස් නවත්තන තැනට ආවා. එතකොට මම ආපු කෝච්චියේ ආපු ඩබලකුත් ඇවිත් හිටියා. උන්ටත් කවුරු හරි කියල තිබුණ බස් එකක් තියෙනව කියල. උනුත් සෙමිය මඟ ඇරල සීටීබී එකක යන්න ආපු උන් දෙන්නෙක්.

ටිකකින් කොට කොටා ආව රතු බස් එකක්. අඩේ ලක්සිරිය. අපිත් ඉතිං උඩ පැනල ගිහින් වාඩි වුණා. ටිකක් වෙලා ඉද්දි කොන්දා ටිකට් කඩාගෙන ආවා. බැලින්නං ඒක සෙමියටත් වඩා ගණන්. වාඩි වෙනව නම් සීට් බුකින් චාජ් එකකුත් ගෙවන්න ඕන කිව්වා. අරුන් දෙන්න බනිනව මූ ගෙයක් හදනවද කොහෙද ඒ සල්ලි වලින් කියල.

හරියන්නෑ අපි සෙට් එකම බැස්සා. එතකොට සෙමියත් ගිහින්. අපි බැහැල විනාඩි පහක් ගියේ නෑ පිස්සෙක් වගේ තව රතු බස් එකක් දැම්ම ස්ටෑන්ඩ් එක ඇතුලට. බිබිලෙ ඉඳන් කොළඹ යන්න ආපු බස් එකක්. ඌ රේසින් ඩ්‍රයිවර් කෙනෙක්ද කොහෙද මට අදටත් හිතාගන්න බෑ ස්ටෑන්ඩ් එක ඇතුලෙ එක ක්ෂණයකින් U turn එකක් ගැහුවෙ කොහොමද කියල. ඌ ඇවිල්ල ලක්සිරිය ඉස්සරහින් ගැහුවා. බස් එක නැවැත්තුවා – ඌ ගියා. අපිත් නැගල වාඩි වුණා. සීට් ටික අර ලටෙක් උස සෙමි ලක්සරි බස් වලින් ගත්ත ටිකක්. මොඩිෆයි කරලා. සැපයි කියන්නෙ අදටත් ලංකාවෙ බස් එකක හම්බුණ සැපම සීට් තිබුණෙ ඒකෙ.

වෙලාවට ඒක නෝමල් ගණන්. ටිකට් ගන්නකොටත් මට බාගෙට නින්ද යාගෙන එන ගමන් තිබුණෙ. ටිකට් එක අරන් පර්ස් එකට දාල පර්ස් එක සාක්කුවට දැම්ම විතරයි මතක. ආයෙ ඇහැරුණේ දියතලාවෙ පළවෙනි චෙක් පොයිට් එකේ නවත්තල කට්ටියට බහින්න කිව්වම. දියතලාවෙ පත කෑම්ප් තොගයක් තියෙන නිසා ටවුන් එකට කලින් එකයි පස්සෙ එකයි චෙක් පොයින්ට් දෙකක් තිබුණා. ඒ දෙකේම බස් නවත්තල හැම එකාවම බලනවා. බෑග් ඇදල බලනවා. මේ කියන්නෙ තාම යුද්ධෙ ඉවරවෙලා මාස දෙකයි.

මඟුල ගල් හැහෙන්න සීතලයි. බස් එකේ ෆ්රේම් එකේ අත ගැවුනත් කරන්ට් වදිනව වගේ සීතලයි. ආමි හරි නේවි උන් සෙට් එකක් හිටියේ. මම වෙනදට ගෙදර ඉඳන් කොළඹ යද්දි හරි බෝඩිමේ ඉඳන් යුනි යද්දි චෙක් පොයින්ට් වල කරනව වගේ යුනි ID එක තමයි දුන්නෙ. එතකොට ප්‍රශ්න අඩුයි. අවුලක් නෑ යන්න කිව්වා.

බස් එක දියතලාව පහු කරල දෙවෙනි චෙක් පොයින්ට් එකේ නැවැත්තුවා. මේ පාර එයා ෆෝස් උන් හිටියේ. කලින් වගේම යුනි ID එක දුන්නා. එකපාරට මූ ලොකු ලයින් එකක් දෙන්න ගත්ත. මේක අපට හරියන්නෑ. මේක අනික් අය බැලුව නම් ප්‍රශ්නයක් වෙනවයි මේක valid නැතිය රටේ නැති ගල් බයිල ටිකක් කෙලින්න ගත්ත. I was like, bitch, I travelled with this through at least three to five check points — every weekend — up and down — for the whole past year. like WTF?

මම කිව්ව අවුලක් නෑ මම NIC එක දෙන්නම් කියල. නෑ නෑ එපා ලු. ඒත් තාමත් කියනව මේක අවුල් ලු. මට තේරුණා ඌට තියෙන්නෙ වෙන ඇරියස් එකක් කියල. මට එපා වෙලා හිටියෙ මම ටිකක් annoyed tone එකකින් ඇහුව මම යන්නද කියල. හා යන්න හැබැයි මීට පස්සෙ NIC එක දෙන්නලු මේක valid නෑලු. මාත් හා කියල ආවා. (නෑ නෑ කවදාවත් ආයෙ NIC එක දුන්නෙ නෑ)

මට මැරෙන්න නිදිමතේ හිටයෙ. ආයෙ නින්දට වැටුනා. මට ලාවට වගේ මතකයි හෙමීට බෙරගල පල්ලම බස්සනවා. ඊට පස්සෙ මොකුත් මතක නෑ. ආයෙ ඇහැරුණේ බළන්ගොඩ තුඹගොඩදි කන්න නැවැත්තුවම. රෑ 12ට කිට්ටු කරලා. සෑහෙන වෙලා එතන හිටියා. රෑ දොළහමාරත් පහුවෙලා බළංගොඩින් පස්සෙ පල්ලම බැහැල ඉවර වෙන්න කිට්ටුව හරිය පහු වුණා විතරයි මූ යන්න ගත්තෙ නැතැයි. ඉතුරු ටික පියෑඹුවා. මාරයා සමඟ වාසේ ගමනකින් පස්සෙ මම එකාමාරට විතර රත්නපුරෙන් බැස්සෙ.

ඔන්න ඔහොමයි මගේ පළවෙනි ට්‍රිප් එක නිමා වුණේ. අර මාරයා බස් එකේ ටිකට් එක තමයි ඔය පහළින් තියෙන්නෙ. අවුරුදු 16ක් තිස්සෙ තාමත් පර්ස් එකේ මේ ටිකට් එකයි, ඊට මාස කීපෙකට පස්සෙ බණ්ඩාරවෙල ගියපු ගමනක තව ටිකට් දෙකකුයි තියෙනවා.