තනිවම දුම්රියෙන් බදුල්ලට I කොටස ලියද්දි දිගටම ඉතුරු ටිකත් ලියල තිබුණට බ්ලොගර් වල අවුලක් නිසා ඉතුරු ටිකේ draft එක මැකිල තිබුණ. ඉතින් ආපහු ඒ ටික ලිව්ව. මේ තියෙන්නෙ ඒ දෙවෙනි කොටස…
නුවර ගිහින් පරක්කු වෙච්ච නිසාද කොහෙදෝ රියදුරු මහත්තය ටිකක් වේගෙන් යන්න පටන්ගත්ත පේරාදෙණියෙන් පස්සෙ. ඒත් ඊට පස්සෙ ගම්පොළට කලින් මොකක් නමුත් පොඩි ස්ටේෂන් එකකදි crossing එකක්. සෑහෙන්න වෙලාවක් එතනත් ඉන්න සිද්ද උනා. ඔහොම ඉඳල ඇවිත් ගම්පොළට ඊළඟට නාවලපිටියටත් ආව. මට එදා ගමනෙදි හම්බ උනු මතක හිටින ස්ටේෂන් එකක් තමා ඉඟුරුඔය. ඉඟුරුඔය මහ කැළෑබද පරිසරයක තියෙන පුංචි නැවතුමක්. පොඩි මීදුමකුත් අවට තිබුණ නිසා ලස්සන තවත් වැඩි වෙලා තිබුණ. ඉඟරුඔයෙන් පිටත් උනාට පස්සෙ ගල්බොඩට වැඩි දුරක් නැති උනත් කැළෑව මැදින් යන ගමන හරිම ලස්සනයි. විශේෂයෙන් ගල්බොඩ ද්විත්ව බිම්ගෙය ගැන සඳහනක් කරන්න ඕන. එක ළඟ තියෙන අංක 12 සහ 13 බිම්ගෙවල් දෙක හා ඒ අතර මැද්දෙ තියෙන පාලම නිසා මයි මේ බිම්ගෙවල් දෙක ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ. මේ ගමන යද්දි නොවරදවාම බැලිය යුතු තැනක්. පාලමට යටින් ගන ගල්බොඩ ඇල්ලෙ පහල කොටසත් බලන්න ලස්සනයි.
ගල්බොඩ පාලම |
පොඩි වැස්සකුත් එක්ක මීදුමෙන් වැසුනු වනය හරහා ඊළඟට ආවෙ වටවලට. කලින් ලංකාවෙ වැඩිම වර්ෂාපතනය තිබුණු වටවල ඒ බව මතක් කරන්නද මන්ද පොඩි වැස්සකුත් ඒ වෙලාවෙ කඩන් වැටුනෙ. ඊළඟට හැටන් නගරයත් පහු උනා. ඊළඟට හම්බ උනේ ලංකාවෙ දිගින් වැඩිම බිම්ගෙය වන අඩි 1836.45ක් දිග සිංගිමලේ බිම්ගෙය. මැදිරියෙ දකුණු පැත්තෙ හිටපු නිසා සේන්ට් ක්ලෙයාර් ඇල්ල බලාගන්න නං බැරි උනා. උඩරට මැණිකේ දුම්රිය චාරිකාව වැඩසටහන් බලල තිබුණ එක විශේෂ ස්ථාන හඳුන ගන්න පහසුවක් උනා.
දැන් තලවකැලේ එහෙමත් පහුවෙලා ලස්සන තේ වතු මැදින් යන අතරෙ එක පාරටම පෙනුනා පහළින් අපි ආපු පාරම. සාමාන්‍යයෙන් මහ පාරෙදි එහෙම පේන එක අරුමයක් නොවුනත් රේල පාරෙ මෙහෙම තැනක් දකින්න තියෙන හැකියාව බොහොම අඩුයිනෙ. පස්සෙ මෑත කාලෙක දැන ගත්ත විදිහට වටගොඩ හරියෙ මෙවන් තැන් කිහිපයක්ම තියෙනව. ඒ ගැන වැඩි විස්තර ගෙහාන් සහෝදරයගෙ බ්ලොග් එකේ තියෙනව බලන්න.
හති දාගෙන නැගපු කන්ද ඉවර වුනේ ග්‍රේට් වෙස්ටර්න් ස්ටේෂන් එකෙන්. පහළ පේන තැනිතලාව ඉවර වෙන්නෙ ශ්‍රී පාද කඳු වැටියෙන්. ශ්‍රී පාද කන්ද හොඳට පේනව හොඳ පැහැදිලි දවසක. ඇත්තටම කන්ද ඉවරයි කිව්වට ඉවරම නෑ. පට්ටිපොලට වෙනකං නැග්ම තියෙනවා.
නානුඔයට එනකොට දවල් දෙකට විතර ඇති. එතනත් වැඩි වෙලාවක් හිටියෙ නෑ. මට නානුඔය කැන්ටිම හොයාගන්න බැරි උන එකෙන් දවල්ට කෑමත් නෑ. නානුඔයෙන් පස්සෙ හෝටන්තැන්න රක්ෂිතය හරහා යන මාර්ගය නම් වචනයෙන් කියන්න බැරි තරම් ලස්සනයි. ඒකට නම් ඉතිං ගිහින්ම තමා බලන්න ඕන. නානුඔයන් පස්සෙ පැරකුම්පුර – අඹේවෙල – පට්ටිපොල – ඔහිය ස්ටේෂන් එක වෙනකන් හෝටන්තැන්න හරහා තමයි රේල් පාර වැටිල තියෙන්නෙ. ලස්සන ගැන හිතා ගන්න පුළුවන්නෙ.
සුන්දර හෝටන් තැන්න |
එල්ජින් ඇල්ලත් අහම්බෙන් නෙත ගැටුන බලාපොරොත්තු නොවුන වෙලාවක. එල්ජින් ඇල්ල ඔය කිට්ටුව තියෙන්න ඕන කියල දැනගෙන හිටියත් හරියටම දැනගෙන හිටියෙ නෑ කොහෙද තියෙන්නෙ කියල.
එල්ජින් ඇල්ල |
ඊළඟට අඹේවෙල නැවැත්තුව. පරණ මතක එළියට එන තැනක්. පොඩි කාලෙ නවසීලන්ත ගොවිපල, මිල්කො එක එහෙම බලන්න නිතරම ගිය හැටි මතක් උනා. පට්ටිපොල කියන්නෙ ලංකාවෙ දැනට තියෙන උසින් වැඩිම ස්ටේෂන් එක (1891m). ගලවල ඉවත් කල (1948දි) උඩපුස්සැල්ලාව මාර්ගයෙ රාගල තමා මීට කලින් උසම නැවතුම වෙලා තිබුනෙ. ඉතිං අපේ පොඩි මැණිකේ දුම්රිය ස්ථානයට කිලෝ මීටරයක් විතර දුරින් තියෙන මාර්ගයෙ උසම තැනත් (1898.1m) පහු කරගෙන පල්ලම් බහින්න පටන් ගත්තා.
ලෝකයේම broad gauge (5′ 6″) දුම්රියක් ගමන් කරන ඉහළම උස |
ඔහිය – ඉදල්ගස්හින්න අතරෙ තියෙන බිංගෙවල් 14ත් පහු කරගෙන ඉදල්ගස්හින්නත් පහු කරල හපුතලේට ආව. දැන් නම් හිතට දුකයි වගේ. ඇයි ඉතිං ගමනෙ අවසාන කොටසටනෙ ඇවිත් තියෙන්නෙ. ඊළඟට දියතලාව, පොඩි කාලෙ අවුරුදු පහක් හයක් විතර හිටපු දිහාව. හුදෙකලා ස්ටේෂන් එක දකිනකොටත් හිත යන්නෙ පොඩි කාලෙට. ඒ කාලෙ දියතලාවෙ මිනි හයික් ගියපු හැටි මම කලින් ලිව්ව වගේ මතකයි.
බිම්ගෙවල් අතරින් |
ඇල්ල හරියට එනකොට ගහකොල වටපිටාව සියල්ල වෙනස් වෙලා. මෙතෙක් වෙලා තිබුණ සීතල වෙනුවට මඳ උණුසුම් බවකුත් දැනුණා. මේ හරියට එනකොට කෝච්චියෙ සෙනඟත් අඩුයි. කෝච්චිය පුරා දුවන්න පුළුවන් 🙂 දකුණු පැත්තෙන් පේන ඇල්ල දුර්ගය ඈත තැනිතලාවල් තෙක් කඳු අතරින් පේන කපොල්ලක්. ඇල්ල වැල්ලවාය මාර්ගයෙ වාහනයකින් යනව නං ඇල්ල දුර්ගය ගැන වඩා හොඳින් අධ්‍යයනය කරන්න පුළුවන්. ස්වභාවධර්මයේ අපූරු නිමැවුමක් ඇල්ල දුර්ගය.
ආරුක්කු නවයෙ පාලම |
දෙමෝදර ආරුක්කු නවයේ පාලම (Nine Arch) පාලම ගැන අහපු නැති කෙනෙක් නැති තරම්. ඒ පාලම මතින් යද්දි කැමරාවක් නොතිබුණ එක ගැන නම් සෑහෙන්න දුක හිතුන. ඒ වගේම දෙමෝදර ස්ටේෂන් එක ළඟම තියෙන රේල් පාරෙ සුප්‍රසිද්ධ ගැටය (Demodara loop) ගැනත් ඔබ අහල ඇති. මේ ගැටය ගැන හොඳ දැනුවත් වීමක් එක්ක මෙතනින් ගියෙ පළවෙනි වරට. ඒකටත් ස්තුතිය ජාතික රූපවාහිනියෙ උඩරට මැණිකෙ වැඩසටහනට. මේ තියෙන්නෙ loop එක මතින් දුම්රිය යද්දි මම මෑතකදි ගත්ත වීඩියෝවක්.
ඉතින් ඔය විදිහට උඩරට දුම්රිය මාර්ගයෙ අසිරිය විඳිමින් ආපු ගමන නිමා උනේ ගමනාන්තය වුන බදුල්ලෙන්. බදුල්ලට පොඩි මැණිකේ එනකොට හවස හය වෙලා තිබුණ. නුවරත් ගිහින් ආව නිසා ගමනට එදා පැය දොළහක් ගතවෙලා තිබුණත් සාමාන්‍යෙයන් ගමනට ගතවෙන්නෙ පැය 10ක පමණ කාලයක්. (හවස 4ට බදුල්ලට පැමිණිමට නියමිතයි). එදා බදුල්ලෙන් කොළඹ යන night mail එකටත් යන්න විදිහක් නැතුව හිටයෙ පොඩි මැණිකෙ එනකං. ඇයි පොඩි මැණිකෙ එන්ජිම නැතුව ඒකට පිටත් වෙන්න බෑනෙ. ඒකට හේතුව මෙතන තියෙනවා.
බදුල්ලෙන් බැහැපු මම M2c 627 Vancouver එන්ජිමත් හොඳින් දැක බලාගන්නත් ගියා. 627 කියන්නෙ මම ආසම එන්ජිම උනත් අද වෙනකන් මට මේ එන්ජිමේ ඡායාරූපයක් ගන්න හැකිවෙලා නෑ. 🙁 627 මට හමු වුණු එකම වතාවත් මේක.
බොහොම දුකෙන් උනත් දුම්රිය ස්ථානයෙන් එළියට බැහැපු මම බදුල්ල නගරයට ගිහින් මුතියංගණය පන්සලටත් ගිහින් ගෙදර එන්න පිටත් උනා රෑ 9ට බදුල්ලෙන් කොළඹ එන්න පිටත් වෙන බිබිලෙ (පස්සරද දන්නෙත් නැහැ) ඉඳන් එන CTB බස් එකේ. (බදුල්ල ඩිපෝවෙ ආසන වෙන් කරන්න පුළුවන් “ලක්සිරි” බස් එක පිටත්වෙනව රෑ 10ට. යන කෙනෙකුට ඒ තොරතුරත් වැදගත් වෙයි කියල කිව්වෙ) බස් එකට ගිහින් ඉඳගත්ත විතරයි මහන්සියටම නින්ද ගියා ආපහු ඇහැරුනේ බලංගොඩදි. 🙂
ඉතිං ඔන්න ඔහොමයි මම මුලින්ම තනියම බදුලු ගියේ කෝච්චියෙන්. ඊට පස්සෙ දෙපාරක් ගියා තනියම. ඊට පස්සෙ ගෙදර අය එක්ක, යාළුවොත් එක්ක ගියා තව කීප වතාවක්.
ඒ විදිහට පස්සෙ ගිය වතාවල් වල ඡායාරෑප තමා මේ දාල තියෙන්නෙ.