ගුරුවරු

Teacher with teaching board

ගුරුවරු ගැන ගුරුවරියක් කියන ආකාරයෙන් ලියූ කතාවක් පහතින් තියෙන්නෙ. මේක අඩයාලම කියන ෆේස්බුක් ගෲප් එකේ ෆේක් එකවුන්ට් එකකින් පළ වුණ කතාවක්. මේ කතාව ගෙතූ කතාව බව ඇත්ත. ඒත් මේ වගේ perfect නැති වුණත් ළඟින් යන චරිත කොතෙකුත් මේ සමාජයේ ඉන්නවා. ඒත් එවැනි චරිත වලට මේ සමාජයේ ඇත්තටම ඉඩක් තිබෙනවාද? ඒ අයට අනෙක් අයට හිමි වරප්‍රසාද හිමිකම් සමාජ පිළිගැනීම තිබෙනවාද කියන එක සෑහෙන ලොකු ප්‍රශ්නයක්. ඔවුන්ට ඒ සඳහා දිවි හිමියෙන් සටන් කරන්න වෙලා. ඒකද මේ සමාජයේ සම්මතය?

Vasuda Jayawarna > අඩයාලම Adayalama

මාගේ මුල්ම ගුරු පත්වීම ලැබුණේ බාලිකා පාසලකට ය. ඉංග්‍රීසි භාෂාවට පිළිබඳ මනා දැනුමක් තිබීම සමාජයේ විශේෂ තැනක් හිමි වීමට හේතුවක්. අදටත් එහි ලොකු වෙනසක් නැහැ. විදුහල්පතිතුමිය මුණගැසී ඉගැන්විය යුතු පන්තිය ගැන විස්තර දැනගතිමි.ඊට පසුව ගුරු විවේකාගාරයේ තිබූ සියලු සම්මුඛ සාකච්ඡාවන්ට නොබියව මුහුණ දී මා ඉගැන්විය යුතු පන්තිය වෙත සෙමින් පිය නැංවුවෙමි.

“ගුඩ් මෝර්නින් ටීචර්“ ළමයි සියලු දෙනාම නැගිට සිට ලතාවකට පැවසීය.

“ගුඩ් මෝර්නින් ළමයි“ මම පිළිතුරු දු‍නෙමි.ළමයින් සමග දොඩමලු වී විස්තර දැනගැනීමට ම සම්පූර්ණ කාල පරිච්ඡේදයක් ගත විය. පළමු දිනය හේතුවෙන් පන්ති දෙකක පමණක් ඉගැන්වීමට ලැබුණ අතර දවසේ ඉතුරු ටික පාසල් පුස්ථකාලයේ ගත කලෙමි.

“කොහොම ද පුතේ ඉස්කෝලේ” ගෙට ගොඩවෙද්දීම අම්මා ඇසුවාය.“ වරදක් නෑ, හොදයි” කියමින් මම ගෙතුලට පැමිණියෙමි.

නියමිත කාල පරිච්ඡේදයේ ඉගැන්වීම කටයුතු කරමින් සිටිද්දී අල්ලපු පන්ති කාමරයේ ‍ඝෝෂාව කනට දරා ගැනීමට නොහැකි විය. බැරිම තැන ගොස් මුළු පන්තියට ම ඉංග්‍රීසියෙන් බැණ වැදුණෙමි. පන්තියම මීයට පින්බා වැනිය. මීක් සද්දයක් නොමැත. මට මංගැන ආඩම්බරයක් දැනුණි. එක පාරයි බැන්නේ සද්ද නෑ. මම නැවතත් මාගේ පාඩම තවත් උද්‍යෝගයෙන් කරන්නට වුණෙමි.විනාඩි පහක්වත් ගත වූයේ නැත. නැවතත් සුපුරුදු කෑ ගැසීම පටන් ගැනුණි. මම නැවතත් ගොස් ඉංග්‍රීසියෙන් බැණ වැදුණෙමි. එය පෙරට වඩා සැරෙන් කිරිමට වගබලා ගතිමි. සියල්ලෝම නිශ්ශබ්ද විය. ඇති යන්තම් කියා පාඩම පටන්ගත්තා පමණි. නැවතත් සපුරුදු කෑ ගැහිල්ල.

ගැහැණු ළමයන්වෙලාත් මුන්ගේ හැසිරීම යැයි හිතමින් නිශ්ශබ්දව සිටින ලෙසට ළමයෙක් අතේ පණිවිඩයක් යැව්වෙමි.

“ඉංග්‍රීසියෙන් කියහන් බන්. සිංහල තේරෙන්නේ නෑ” ගැහැණු ළමයෙක් කියනු ඇසිනි.

“මේ කෙල්ලො ටික මාව විහිලුවකට අරගෙන” ආ ක්ෂණික කෝපයත් සමග විදුහල්පතිතුමියට පැමිණිලි කලෙමි. එවිට යම්තරමක පාලනයක් කර ගැනිමට හැකි විය.

බස් එකේ නිවසට යන අතරතුර “බහිනවා, බහිනවා, නවත්වන්න” වයසක මනුස්සයෙකුගේ කටහඩකි. බස්එක නවත්වන හැඩක් නැත. මා බෙල් එක ස්විචය තද කිරීමට අත උත්සනවාත් සමග කොහෙන්දෝ පැමිණි අතක් බස් එක නවත්වන තුරු බෙල් එක තද කරගෙන සිටියේය. බසය නැවතුණි. මම අත අයිතිකරු දෙස හැරී බැලුවෙමි. අපේ පාසලේ ළමයෙක්. මාව ගණන් නොගෙන ඇය සිටියාය.මන් එක්ක හිනා වෙන්නේ නැතුව මං මොකට ද හිනා වෙන්නේ. මමනේ ටීචර්. එසේ සිතමින් මම අහක බලා ගතිමි.

ගුරුවරියකගේ දිගු කාලීන නිවාඩු යෑමක් හේතුවෙන් පන්තියක පන්තිභාර ගුරුවරිය ලෙසට මට කටයුතු කරන ලෙසට විදුහල්පතිතුමිය දැන්වීය. එය මාව විහිලුවට ගත් පන්තියයි.මට ගුරු විවේකාගාරයට අඩිය තියන්නට ලැබුණේ නැත.එක එක ගුරුවරියන්ගේ කතන්දර ගොඩකි“

රුවනි, ඔයාට මරු පන්තියක් ලැබුණේ. ඔය පන්තියේ ඉන්නවා නිසංසලා කියලා ළමයෙක්. කාටවත් කීකරු නැ. වහිනවනම් වැ‍ස්සේ තෙමෙනවා. උගන්වනකොට පාඩම අහන් ඉන්නේ නෑ. එකට එක කියනවා. හැමෝටම වදයක්. ඒ පන්තියම කන්නේ ඔය ළමයා තමයි. ඔයාට ලේසි වෙන්නේ නෑ. පුළුවන්නම් හදලා ගන්න. ප්‍රින්සිපල් මැඩම්ටත් වදයක් වෙලා. වයිස් ප්‍රින්සිපල්ගේ දුවටත් බැනලා තිබ්බා.”

නිසංසලා, නිසංසලා, මගේ කන්දෙක මේ නමින් පිරිලා ගොස් ය. හිතටත් අමුතුයි වගේ. කමක් නෑ ගිහින් බලමු.

“ගුඩ් මෝර්නින් ටීචර්“ ළමයි සියලු දෙනාම නැගිට සිට ලතාවකට පැවසීය. එහෙත් එක ළමයෙක් වාඩි වි සිටිනු දුටිමි.

“ගුඩ් මෝර්නින් ළමයි“

මම පිළිතුරු දී “ අර වාඩිවෙලා ඉන්න ළමයාට නැගිටින්න බැයි ද, ගරුවරයෙක් ආවහම නැගිටින්න දන්නෙ නැද්ද? ” මම කේන්ති මුණක් පෙන්වමින් ඇසීමි. කිසිවක් ගණන් නොගත්තා සේ නැගිට “ මම දැක්කෙ නෑ” කියා පිළිතුරු දී වාඩි විය. ඊයේ බස් එකේ සිටි ළමයා ඇයම බව මට මතක් විය.

“කවුද නිසංසලා කියන්නේ”මම ඇසිමි.

“මම, ඇයි?” ඇගේ කටහඩ තියුණුය.

අඩුම ගානේ ඇයි ටීචර් කියාවත් ඇය ඇසුවේ නැත. ඇය එක එල්ලේ මා දිහා බලා සිටියි. “නෑ. මීට පස්සේ ගුරුවරයෙක් එද්දි ටිකක් අවදානයෙන් ඉන්න” යැයි මම ඇයට පැවසුවෙමි.නිසංසලා පාඩමට ඇහුන්කන් දෙන බවක් මට නොපෙනුණි. ඒත් මම අනවශ්‍ය ලෙස පැටලීමට නොගිය අතර අනෙක් ළමුන් තිස්හතර දෙනා ගැන අවධානයක් ලබා දුනි. මාසික පරීක්ෂණ වලදී ලකුණු අඩුවුවහොත් ඇයට දොස් තැබීමට හිතේ තබා ගතිමි. නමුත් මාසික පරීක්ෂණ වලට ඇයට වඩා ලකුණු අඩුවෙන් ගත් ළමුන් පහලොවක් පමණ සිටි නිසාවෙන් මම කර බා ගතිමි.ඇගේ කොණ්ඩ විලාසිතාව ගැන මා තුල කිසිදු පැහැදීමක් තිබුණේ නැත. මා තුල පමණක් නොව පාසැලේ කිසිම ගුරුවරයෙකු ඒ ගැන පැහැදීමකින් කතා කලේ නැත. කිසිම කෙනෙක් වචනයක් නොකිවේ එය වැඩක් නැති වැඩක් යැයි පවසමිනි.

“නිසංසලා, බලන්න ඔයාගේ කොණ්ඩෙ. ඉස්කෝලේ යන ළමයෙක් විදිහටද කොණ්ඩෙ කපලා තියෙන්නේ. කොල්ලෙක් වගේ ඩබල් කට් කපාගෙන. මේ ඉස්කෝලේ එක ළමයෙක්වත් ඉන්නව ද ඔයා වගේ.” මම ඇයට දොස් කීවෙමි.

“ටීචර්, මෙතන පොඩ්ඩක් ඉන්න. මන් විනාඩියෙන් එන්නම්” යැයි පවසමින් නික්ම ගියාය. විනාඩියක් ගත වීමට පෙර ඇය පැමිණියේ තවත් ගැහැණු ළමයෙක් සමගයි.

“ටීචර්, මේ ඉන්නේ” යැයි පවසමින්, එම දරුවාගේ‍ කොණ්ඩය මට පෙන්වීය.

කිසිම දෙයක් ගැන කතා නොකර මම එතනින් පිටවුණෙමි. එම සිද්ධියෙන් පසු මේ ළමයා සම්බන්ධ කිසිම දේකට මම මැදිහත් නොවීමට තීරණය කලෙමි.නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පැවැත්වීමේ කටයුතු ආරම්භ කිරීම සදහා කටයුතු යෙදිණි. මම අරලිය නිවාසය භාර විය. නමුත් එම නිවාසයේ දරුවන් විසින් නිවාස නායිකාව ලෙස තෝරාගත්තේ නිසංසලාවය. ඇය ක්‍රීඩාවට දක්ෂ බව මා අසා තිබුණත් ඇය සමග කටයුතු කිරීමට කැමැත්තක් හිතේ තිබුණේ නැත. වසර දහයක් පමණ තිස්සේ තරගාවලියේ දී මෙම නිවාසය ලබා ගත්තේ අවසන් ස්ථානයයි. මේ පාර වෙනසක් වෙයි ද? යන්න මට සිතුණි.

සෑම දිනකම පැය 2ක් ක්‍රීඩා කටයුතුවලට වෙන් කර තිබුණි. පිට්ටනියේ සිට නැවත ගුරු විවේකාගාරය දෙසට පැමිණෙන විට යම් අඩුවක් දැනෙන්නට විය. බෙල්ල අතගා බලද්දී “දෙයියනේ චේන් එක” මට ඉබේටම කියවුණි. දැන් මොකද කරන්නේ කියා මම කල්පනා කලෙමි.දෙමළ විෂය භාර ගුරුතුමිය වෙත මම ගොස් සිදු වුණ දේ පැවසුවෙමි. “අපි දැන් ග්‍රවුන්ඩ් එකට ගිහින් බලමු” යැයි ඇය පවසීය. අපි දෙදෙනා ක්‍රිඩා පිටියට යන විට නිසංසලා සහ කිහිප දෙනෙක් සෙල්ලම් කර කර සිටිනු දැකීය. අපි ක්‍රීඩි පිට්ටනියට ගොස් සෙව්වත් චේන් එක ලැබුනේ නැත.“අපි හෙට උදෙන් ම ඇවිල්ලා හොයමු. දැන් මේක කාටවත් දැනගන්න තියන්නෙපා. එහෙම උනොත් සිකිරුටි කෙනා හවසට ඇවිල්ලා බලයි. හම්බවුනොත් දෙන එකක් නෑ. ” ඇය මට පැවසුවාය.

පන්තියට පැමිණුනේ කෙන්තියෙනි. අම්මා අරන් දුන්න ‍චේන් එක. සියල්ල අමතක කර දමා පාඩම පටන්ගන්න උත්සාහ කරද්දි කිසිම ගරුසරුවක් නැතිව “ එක්ස්කියුස් මී, ටීචර් ” කියාගෙන පන්තියට ඇතුල් වූ නිසංසලා ගැන ආවේ කේන්තියකි.“ කොහෙද ගියෙ. පැට්‍රිස් කරන්න කියලා තියෙන්නේ පැය දෙකයි. දැන්බලනවා වෙලාව කීය ද කියලා” ඇයට කැ ගැසුවෙමි. නැවත හිත සන්සුන් කර ගෙන පාඩම ඉගැන්වුවෙමි.

පන්තියෙන් එළියට ටික දුරක් යද්දී කඩහඩක් ඇසී නැවති ආපසු බැලුවෙමි. නිසංසලා මා දෙසට දුවගෙන ඇවිත් මා අතේ යමක් මිටි කර තබා නැවත පන්තියට දුවගෙන ගියා ය.

අත දිග හැර බැලූ මට මා ගැන ම ලැජ්ජාවක් ඇතිවිය. මගේ චේන් එක ඇය සොය මට ගෙනත් දි තිබේ. ඇයට ස්තූති කිරිමේ අවශ්‍යතාවයක් දැනුණ බැවින් මම නැවත පන්තියට ගියෙමි. ඇය පන්තියේ සිටියේ නැත. මාව මුණගැහෙන්නට කියා පණිවිඩයක් තැබුවත් ඇය මාව මුණගැහෙන්නට පැමිණියේ ද නැත.පසුවදා,මා ඇයට කතා කිරීමට උත්සාහ ගන්නා බව දැනුණ නිසාවෙන් දෝ ඇය මාව ගණන් නොගෙනම සිටියා ය. ඇය තම නිවාසය ජයග්‍රහණය කිරිමට කටයුතු කලාය. කවදාවත් කිසිම ක්‍රීඩාවක යෙදුන්නැති දරුවන් පවා ඇයගේ කීමට ක්‍රීඩා කිරීමට එකග වූවාය.ඇය මා සමග පන්තියේ දී පවා කතා කලේ අඩුවෙනි. නමුත් ක්‍රීඩා කටයුතුවලට අදාලව මා සමග කතාකලාය. නමුත් මට ස්තූති කිරීමට අවස්ථාවක් නොදීමට ඇය හිතාමතාම වගබලාගත්තාය. ඇය ඒ තරමට උද්දච්චය. චේන් එක මෙයාට ලැබුණාට වඩා හොදයි ලැබුණේ නැත්නම් කියා ද සිතුණි.ක්‍රීඩා උත්සවය දිනයේ දී නිවාසය සකස් කිරීමට සම්බන්ධව අදහස් කිහිපයක් ඉදිරිපත් විය.

“ ටීචර්, අපි හවුස් එක හදමු වෙනස් විදිහට. අපි කියමු මේකට අපි ඔක්කොම ගත්තේ ස්වභාවික දේවල් කියලා. පිදුරු, රබර් ඇට,තේ කුඩු, පොල් කුඩු පාට කරලා, පුළුවන් වෙයි හොදට හදා ගන්න.” නිසංසලා පැවසීය. හොද අදහසක් බැවින් ගුරුවරු එකග විය. තත්වය එසේ වුවද ඇයගේ හොදක් දැකීමට කිසිම ගුරුවරයෙකු කැමති වූයේ නැත.

“නිසංසලා, ඇයි අර පී.ටී. මිස් ඔයාට බැන බැන යන්නේ” මම ඇයගෙන් ඇසීය“මට වැඩක් කිව්වා. මං බෑ කිව්වා” කෙලින්ම උත්තර ඇය දෙයි.“ ඉතිං කරලා දෙන්න තිබ්බනේ. ඇයි බෑ කිව්වේ” මම ඇසීය“ටීචර්, අර ඔක්කොම ටික ඇන්දෙ අපි කිහිප දෙනෙක්. මහන්සියෙන් එද්දි වොලිබෝල් දැල ගලවන්න කිව්වා. මන් බෑ කිවිවා”

“ඉතින් පුතේ ඒ වෙලාවේ හා කියලා, පස්සේ වෙන කාටහරි කියල කරවන්න තිබ්බනේ. නිකන් මිස්ල තරහ කරගන්නේ. ඒ අය හිතන්නේ බෑ කිව්වහම ඒක මදි කමක් කියලා. ඒකයි ඔයා එක්ක හැමෝම තරහ” මන් පැවසීය.

“මට බැරි හින්දා බෑ කිව්වා. අනික ඇයි මන් බොරු කියන්නේ. ඇත්ත කෙලින්ම කිව්වහම මිස්ලා තරහ වෙනවානම්. ඇයි ටීචර් අපිට කියන්න බොරු කියන්න එපා. ඇත්ත කතා කරන්න කියලා. මට කාවවත් බොරුවට යාලු කරන් තියාගන්න ඕනේ නෑ” මට උත්තර නැත.

මම නිහඩම මේ කාලය තුල ඇයව නිරීක්ෂණය කලෙමි.ඇය දක්ෂය. කඩිසරය. හිතට අල්ලයි නම් ඕනෑම දෙයක් කරයි. කවුරුවත් නොපෙනෙන තැන්, කාටවත් නොදැනෙන තැන්වලට ඇය සංවේදීය. ඇය කේන්තිකාරයි. හිතට එන දේ පවසයි. තමන්ට පාඩු උනත් බොරු කියන්නේ නැත. තමන් නිවැරදි නම් කා ඉදිරියේවත් පසුබසින්නේ නැත. කිවයුතු දේ මුහුණට පවසයි. හිතවත් නම් මහමෙරක් උව ද ඉවසයි. එපා නම් එපාමයි. මෙච්චර සරල ජීවිතයක් තේරුම් ගැනීම මෙපමණ අමාරු ද. මට නොතේරේ.

ඒත් අවසන මා ඇතුලුව මුලු පාසලේ ම ගුරුවරු කිහිප දෙනෙක් පමණක් ඇයව තේරුම්ගෙන තිබිණි. පාසැලේ ලමයෙකුගේ ඕනෑම ප්‍රශ්නයකට සොයගෙනෙ එන්නේ ඇයවය. පාසලෙන් පිට කවුරුන්හෝ මොකක් හෝ පැවසුවොත් ගේම ඉල්ලන්නේ ඇයයි. ගැහුණු ළමයෙක් වුවත් පිරිමි ළමයෙක් වුවත් ඇය සැලෙන්නේ නැත. වලියක් කොතනද නිසංසලා එතනය. නිසංසලා කොතන ද එතන වලියක් යෑමට ඉඩකඩනම් බොහෝ ඇත. කාගෙවත් දුකකදී ඇය අහක බැලුවේ නැත. යාලුවන් වෙනුවෙන් ඇය බොහෝ දේකරයි. ඒ යාලුවන් ඇය වෙනුවෙන් එසේ කරාවිද යන්න මා තුල විශ්වාසයක් නැත. පොඩි පන්තියේ සිට ඉහල පන්තිය දක්වා ඇයට යහලුවන් සිටී.

අරලිය නිවාසය ‍තරගාවලියේ අනු ශූරතාවය දිනීය. සියයට සීයක් නැතත් ඉන් අඩක හෝ ගෞරවය නිසංසලාට හිමි විය යුතු ය. ඇය කුසලානය ගනිද්දී අරලිය නිවාසයේ ශිෂ්‍යාවන් පමණක් නොව අනෙක් නිවාසවල ශිෂ්‍යාවන් ද ඇයට ඔල්වරසන් හඩ දුන්හ. ඒ ඇය පාසල තුල ලද ජනප්‍රියත්වයයි.

ඇය කණිෂ්ට ශිෂ්‍යනායිකාවක් සදහා ඉල්ලුම් කලත් ඇයට එය ලැබුණේ නැත.“ රුවිනි, නිසංසලාට ශිෂ්‍යනායක කම ලැබෙන්නේ නෑ. ඒක ‍එහෙම තමයි.” ඒ ගැන විමසීමේ දි විදුහල්පතිතුමිය මට ලබා දුන් පිලිතුරයි.

“ඒත් ඇයි මැඩම්, ඒ ළමයා නරක ලමයෙක් නෙවි.”

“නරක ළමයෙක් නෙවි. අනික අපි දෙන්නම දන්නවා එයාට ගුරුවරු අතර තියෙන අප්‍රසාදය. ඉතින්, එහෙම තියෙද්දී මන් කොහොමද එයාට ශිෂ්‍ය නායකකමක් දෙන්නේ.”

“මැඩම් බැජ් එකට තෝරගෙන තියෙන සමහර ළමයි තෝරාගන්න හේතුවවත් මට තේරේන්නේ නෑ. ඒ ළමයා ආවොත් මේ ගැන මැඩම්ගෙන් අහන්න. මැඩම් මොකක්ද දෙන උත්තරේ”

“පිස්සුද රුවනි, ඒ ළමයාව මෙතෙන්ට එවන්න එපා. මෙතන ඇවිත් මට මොනව කියයිද දන්නේනෑ. ඔයා කියලාතේරුම් කරන්න”

මං නිසංසලාට සිදුවූ දෙය පැවසීය. ඇය සිනාසී “ මට බැජ් ඕනේ නෑ ටීචර්. මැඩමුත් මට බය උනා. ඒ මදැයි” පැවසීය.

අලුත් අවුරුදු නිවාඩු දිනයට මුළු පාසල ම ගුරු කාමරය තුල ය. සෑම ලමයෙක් ම ගුරුවරුන්ට වදිති. නිසංසලා වෙනස් ය. ගුරු කාමරයට පැමිණ මට හා තවත් ගුරුවරු හතර පස් දෙනෙකුට පමණක් වැද ඇය නික්ම යයි.

“පුතේ, ඔක්කොම ගුරුවරු බලන් ඉන්දැද්දි කීප දෙනෙක්ට විතරක් වදින එක හරි නෑ. ඔක්කොම ගුරුවරු. මීට පස්සේ එහෙම කරන්නෙපා” මම පැවසුවෙමි.

“මන් කරන්නේ පිදිය යුත්තා පුදන එක විතරයි ටීචර්. මගේ හිතට එකගව ගරු කරන්න ඕනෙ කෙනාට ගරු කරනවා. වදින්න ඕනෙ කෙනාට මන් වදිනවා. මිස්ලගේ හිත් සතුටු කරන්න විතරක් මට වදින්න බෑ. මන් වදින්නේ මගේ හිත සතුටින්. බොරුවට කාගෙවත් ඉස්සරහ මන් දෙකට නැවෙන්නේ නෑ” ඇයගේ පිලිතුරයි.

“ඔය විදිහට හැමදාම හිතුවොත් මේ සමාජයේ ජීවත් වෙන එක ලේසි නැ. ඔයා දවසක තනිවෙයි. අපි නැවෙන්නත් ඉගෙන ගන්න ඕනේ. අවශ්‍ය වෙලාවට කපටි වෙන්නත් ඉගෙන ගන්න ඕනේ. තේරුණා ද”

“මට සමාජය එක්ක ඉන්න ඕනේ නෑ. දැනටත් ඉන්නේ මන් තනිවෙලා. මන් ආදරේ අයට මන් ඔලුව නමනවා. මට කපටි වෙලා රැකගන්න දේවල් නෑ.

”මේකි වයසට වඩා පැහිලා. කියන දේ තේරුම්ගන්නේ නෑ. තමන්ගෙම මතේ විතරයි. මට ඒකට විරුද්ධව තර්ක කරන්නත් බෑ. මේ ළමයා කියන දේවල් ඇත්ත කියලා මගේ හිත ගැඹුරින් පිළිගන්නවා.මේ මුළු පාසලේම සිටින රැඩිකල් ම චරිතය ඇයයි. ඇයගේ පෞද්ගලික ජීවිතය ගැන සොයා බැලුවත් එහි තිබුණේ සාමාන්‍ය පවුලක ඇති අඩදබර තත්වයකි. පවුල් ප්‍රශ්න තිබුනත් ඒවා මහා විශාල තත්වයෙන් තිබූ බවක් මට දැනුණේ නැත. සමහර විට සමාජය ගැන මට තිබූ දැනුම අඩුකම එසේත් නැත්නම් මට තිබූ යහපත් පවුල් පසුබිම නිසා මම එසේ සිතුවාද යන්න නොතේරේ.

ඇය මුණ ගැසෙන සෑම වාරයක් පාසාම විභාගයට පාඩම් කරන්න යැයි පැවසමි. ඇය සිනාසී යනු මිස කිසිවක් පවසන්නේ නැත.

මම පිට්ටනියට යන විට කෙල්ලෝ ටික තැඹිලි ගහ යට කට ඇරගෙන උඩ බලා ගෙන සිටිති. තැබිලි ගෙඩිවලින් වතුර බිමට බේරේ. තවත් කෙනෙක් ශිෂ්‍ය නායක බැජ් එකෙන් තැඹිලි මද හූරයි.

“අනේ අනේ මොකද මේ කරන්නේ.” මම ඇසීය

“ටීචර් එල්ලේ මැච් ප්‍රැට්‍රිස්. තිබහ නිසා එල්ලේ බැට් එකෙන් තැඹිලි වලට ගැහුවා. ගහේ ඉදලා බේරෙනවා. අපි යට ඉදලා බොනවා. වැටුණු ගෙඩි කෝට්ටකින් හිල් කරලා බිව්බා. ගලේ ගහලා පලලා ලොද කනවා. ටීචර්ටත් ඕනාද” නිසංසලා සිනා සී අසයි.

“මේ ලගදි අඹ කඩලා බැනුමුත් ඇහුවා නේද. ඇයි ළමයෝ මෙහෙම”“ඒ ගහේ අඹ හරි රසයි ටීචර්. මුළු ඉස්කෝලෙන් ම රස අඹ ගහ තියෙන්නේ ප්‍රින්සිපල්ගෙ කාමරේ ලග. අපි හැමසැරේම හොරෙන් කඩනවා.එදා අහුවුණා. වෙලාව. ආයිත් අහුවෙන්න කඩන්නේ නෑ”

“බැනුම් අහුවහම දුක හිතෙන්නේ නැද්ද?” “දුක හිතුනා ටීචර්. ගොඩක් දුකයි. අච්චර මහන්සි වෙලා කඩපු අඹ ටික මැඩම් ගත්තනේ. ඒකයි” සිනාසි ඇය පවසද්දී මටත් සිනා නවතා ගන්නට බැරිය.

පාසැලේ එල්ලේ, නෙට් බෝල්, වොලි බෝල් කණ්ඩායම්වල ඇය නායකත්වය උසුලයි. ඕනම ජල්තර වැඩක ඇය පෙරමුණේ රාලය.නිදහස් වෙලාවක් සොයාගෙන ඇය සමග කතා කිරීමට සිතාගත්තෙමි. පන්තියේ ලමුන් ශරීර සුවතා වලට යවා ඇය සමග පන්ති කාමරයේ නිදහසේ කතා කිරීමට සිතිමි. ඇය මා සමග කතා කරයි ද. ක්‍රීඩා උත්සවයෙන් පසු ඇය සමග හොද සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට ආරම්භයක් සනිටුහන් කිරීමට මට හැකි විය.

“නිසංසලා, පුතේ ඔයා අද යන්නෙපා. පොඩ්ඩක් ඉන්න. මට සනීප නෑ වගේ.” මම පැවසුවෙමි. “ටීචර් කැන්ටින් එකෙන් මොනාහරි බොන්න ගෙනත් දෙන්න ද.පෙනඩෝල් මොනාද ඕනේ.” ඇය ප්‍රශ්න අසයි

“ඔයා ලග සල්ලි තියෙනවාද මට ඕනේ දේ ගෙනත් දෙන්න” මම ඇසිමි.“කැන්ටිමේ ඇන්ටි මට දෙනවා” ඇය පිලිතුරු දුණි.

ඇයගේ කටේ තරම තේරුම් ගියේ එදාය. කියවිල්ලේ නිමාවක් නොමත. සියලු දේ පවසයි. අවංකකම උපතින් ගේන්න ඕනේ දෙයක් මිසක් එය ඉපදීමෙන් පසු ඇතිවන දෙයක් නොවන බව ඇය සමග කතා කල පැය භාගයට මට තේරුම් ගිය කරුණකි. “මොකෝ. සංගීතෙ ප්‍රැක්ටිකල් ගොඩ දාගත්ත ද, සින්දුත් කිව්වා නේද එහෙනම්” මම ඇයගෙන් ඇසීය“මේකයි ටීචර් උනේ. සහායට යාලුවෙක් ගෙනියනවා අර සර්පිනාව වගේ එක ගහන්න. සංගීත මිස් ආපු කෙනාව කතාවට අල්ලගත්ත වෙලේ මං වෙනුවට මගේ යාලුව රාග තාල ඔක්කොම ගයනවා. ඒ ආපු මිස් මගේ දිහා බලද්දි යාලුව නවත්තනවා මන් කියනවා. ඔන්න ඔහොමයි උනේ. නැත්නම් මට තාලයකට රචනාවක්වත් කියවගන්න බෑනේ. නටන්න බෑ. චිත්‍ර අදින්නත් බෑ. පෙරදිග සංගීත මිස් හොද හින්දා ඒකට ගියා. සංගීත මිස් මන් ගැන දන්නවා. ඒකයි උදව් කලේ” ඇය එක හුස්මට කියවගෙන ගියාය.

ඇය සාමාන්‍ය පෙළ ඉහලින්ම නොවුනත් සමත් වී තිබුණි. සම්මාන 6ක් සහ ගණිතය සහ සිංහල විෂයන්ට අධි සම්මාන 2ක් ලබා ගෙන තිබුණි.“මගේ විෂයට ඩී ගත්තේ නෑ නේද” මම ඇයගෙන් ඇසීමි.“මන් හිතුවේ ඩී එකක් එයි කියලා ආවේ නෑනේ ටීචර්. අනික මේ මදැයි. රෑ පාඩම් කරලා උදේ ලියලා ගොඩ දාගත්තේ. එහා පැත්තේ හිටපු ගණන් බැරි එකාවත් ගොඩ දැන්මා ” ඇය සිනාසී පිළිතුරු දෙයි.

“කොපි කලාද බය නැතිව”

“ නෑ. බය නැතිව උදව් කලා”

“අපරාදේ පුතේ. තව ටිකක් මහන්සි උනානම් හොද රිසාල්ට් ගන්න තිබබා. එක මාසයක් පාඩම් කලානම් ඇතිනේ. මං කොච්චර කිව්වද ඔයාට පාඩම් කරන්න කියලා. ඇහුවේ නෑ නේද”

“ කිව්වට විතරක් ඇති ද ටීචර්” ඇය මගෙන් පෙරලා ඇසීය.

මාගේ විවාහයෙන් පසු, වසර එකහමාරක් පමණ වන මාගේ ගුරු වෘත්තියට සමුදී මම විදෙස් ගත වුනෙමි. නිසන්සලා සිටින්නේ කොහෙදී දැයි මම නොදනිමි.

නමුත් ඇය මගෙන් අන්තිමට ඇසූ ප්‍රශ්නය “ කිව්වට විතරක් ඇති ද ටීචර්” නියම අරුත තේරුනේ මම මවක් වූ පසුය. සමහර වෙලාවට අපට ගොඩක් දේ කිරීමට හැකියාවක් ඇත. නමුත් උවමනාවක් නොමැත. ඇය හැමතිස්සෙම සෙවූයේ ඇයව තේරුම්ගන්න ඇයට පාර පෙන්වන මග කියන රැකවරණයක් දයාබර සෙනෙහසක් බව මට දැන් වැටහේ. මේ සියලු දේ කිරීම මා මගහැරගෙන ඇත. එය මාගේ ජීවිතයේ අවසාන මග හැරගැනීම බව මම තීරණය කලෙමි. මුදල් වෙන් කිරිමට වඩා අවශ්‍ය වන්නේ කාලය වෙන් කිරීමයි. කැපකිරීමයි.දරුවන් හිතුවක්කාරයි.එය දරුවන්ට උරුම ලක්ෂණයකි. හිතුවක්කාරකම උපතින්ම ගේන දරුවන් සිටිති. නමුත් ගුරුවෘත්තියේ යෙදෙන අප වැන්නවුන් හිතුවක්කාර විය යුතු නැත. ඉතා පහසුවෙන් සමහර ළමුන් වෙනස් කිරීමට හැක. දැඩි පරිශ්‍රමයක් දරා වෙනස් කල යුතු දරුවන් ද ඇත. ඔවුන් බිහිවෙන්නේ කලාතුරකිනි. එම දරුවන් වෙනස් කිරීමට පරිශ්‍රමයක් දැරීමට බොහෝ අය අකමැතිය. ආදරය සෙනෙහස දක්වනවාට වඩා විවේචනය කිරීමට බැණ වැදීමට ගොඩක් අය කැමතිය. දරදඩු හිත් ඇතුලේ උණුවෙන දයාබරත්වය හැමෝටම හොයන්න බෑ.ඒකට සංයමයක් ඕනේ. එදා මගේ ලග ඒ සංයමය තිබුණේ නෑ. නමුත් අද මගේ ලග ඒ සංයමය තියෙනවා. ඇත්තටම කිව්වාට විතරක් ඇත් ද?

Original post එක

https://www.facebook.com/groups/atampahiya/permalink/5603090093097064/

මේවාට කියන්න දේවල් නම් අනන්තයි අප්‍රමාණයි. මිනිස්සු ගුරුවරුන්ට කැමති නැත්තෙ ඇයි කියල ඇත්තටම හොයන්න පුළුවන් නම් ඔය ප්‍රශ්න ගොඩකට උත්තර හම්බෙයි. වෙන රටවල් වල කෙසේ වෙතත් මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තරම් research කරල නැති ක්ෂේත්‍රයක් තවත් නෑ. ගුරුවරු දන්නෙ නෑ එයාල මොනවද කරන්න ඕන කියලවත්. ඒව එයාලට කියන්න කෙනෙක් නෑ. ගුරු පුහුණු කියල කරන්නෙ විෂය කියල දෙන එක විතරයි. (ඔව් මමත් අම්මත් එක්ක ගුරු පුහුණු වලට ගිහින් තියෙනවා – දැන් වෙනස්ද කියන්න නම් දන්නෙ නෑ) කොටින්ම ළමයව හඳුනගන්න මේ අධ්‍යාපන ක්‍රමයෙ වෙලාවක් වෙන් කරලම නෑ. එක එක ළමයි එක එක විදිහයි කියන එකට කිසිම ඉඩක් මේ ක්‍රමයෙ නැහැ. පුදුමාකාර හැකියාවන් සහිත ළමයි පිරිසක් මොට කරල දානව. උන්ට නිදහසේ හිතන්න තියෙන අවස්ථාව නැති කරල දානව. උන්ට ඒකෙන් වැඩක් ගන්න තියෙන අවස්ථාව නැති කරල දානව.

අනික් ප්‍රශ්නෙ ආගමයි සංස්කෘතිය එක්ක අච්චුවක් හදල ඒ අච්චුවට ළමයින්ව වක් කරන්න හදන එක. ඒකට නොගැලපෙන එකා අවුට්. ඒක ගුරුවරුත් කරනවා දෙමාපියනුත් කරනවා. ඕක විතර මට යකා නගින තව දෙයක් නෑ. ආගම පොවනව. ඊට පස්සෙ අන්තවාදෙයි අරකයි මේකයි. විවෘත මනසක් ඇත්තෙම නෑ. පටු චින්තනයක් විතරයි උන්ට ඉතුරු වෙන්නෙ. @#$%^& ආගම කියන්නෙ ඉස්කොලෙ ඉගැන්විය නොයුතු දෙයක්. ඒක අවුරුදු 21ක්වත් පැන්නට පස්සෙ ඕනම නම් තෝරගන්න දෙන්න ඕන දෙයක් මිසක් ගෙදර ඉඳන් හරි ඉස්කෝලෙ ඉඳන් හරි පොවන්න ඕන දෙයක් නෙවෙයි. ආගමෙන් මිදුනාම තියෙන නිදහස, දේවල් දිහා නිරවුල්ව බලන්න තියෙන හැකියාව අර ළමයගෙන උදුරගන්න එක අන්තිම තුච්ඡ වැරැද්දක්.

“ඔය විදිහට හැමදාම හිතුවොත් මේ සමාජයේ ජීවත් වෙන එක ලේසි නැ. ඔයා දවසක තනිවෙයි. අපි නැවෙන්නත් ඉගෙන ගන්න ඕනේ. අවශ්‍ය වෙලාවට කපටි වෙන්නත් ඉගෙන ගන්න ඕනේ. තේරුණා ද”

“ඔය විදිහට හැමදාම හිතුවොත් මේ සමාජයේ ජීවත් වෙන එක ලේසි නැ. ඔයා දවසක තනිවෙයි.” කියල කියන එක තමයි එයාලගෙ එකම පොයින් එක. හැබැයි මේ ටීචර් “අවශ්‍ය වෙලාවට කපටි වෙන්නත් ඉගෙන ගන්න ඕනේ” කියල කියන එකට මම සෑහෙන ගරු කරනව. මගේ පොඩි කාලෙ මම අහපු/දැකපු නැති දෙයක් ඒක. ඉස්කෝලෙ කාලෙන් පස්සෙ තියෙන සමාජය මොන වගේද කියල සමහර ළමයි පරිසරයෙන් ඉගෙන ගත්තා. ඒත් සමහර ළමයින්ට ඒ පරිසරය තිබුණෙ නෑ. උන්ට තිබුණෙ තනිකර සුදු පාට මවපු ලෝකයක්. උන් පිටත සමාජය දැක්කෙ ඉස්කෝලෙන් විතරයි. ඒ වගේ උන්ව ඩීල් කරන්නත් ගුරුවරුන්ට වෙනවා. එතනදි අර සාම්ප්‍රදායික හැමවෙලේම සුදු පාට ප්‍රමෝට් කරන ගුරා නොවී උන්ට කළු පාටත් උගන්නන්න වෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

Leave a comment

Your email address will not be published. Required fields are marked *