ඉන්දියානු මනාලිය – I

ඉන්දියානු මනාලිය ගැන ඉංග්‍රීසියෙන් ලියූ ලිපියේ පරිවර්තනයට  අමතරව මතකයට නැඟෙන කරුණු එක් කර ලියන ලිපියකි මේ.

කලින් සංචාරය කළ චීනයට හාත්පසින්ම වෙනස් වූ ඉන්දියාවේ උතුරු කෙළවරේ “ඉන්දියානු මනාලිය” නැරඹීමට යාම මේ ගමනේ අරමුණයි. 2016 අවුරුද්දේ ජනවාරි මාසයේ මැද භාගයේදී ඉන්දියානු මනාලිය වෙත ගිය සංචාර සටහනයි මේ.

ඉන්දියානු මනාලිය

කවුද මේ සුන්දර ඉන්දියානු මනාලිය? ඇය මනුෂ්‍ය කාන්තාවක් නම් නොවෙයි. ඇය නම් උතුරු දිග ඉන්දියාවේ හිමාල කඳුවැටිය පාමුල වූ කුඩා නගරයක්. සංචාරක කර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ග වූ මේ සුන්දර ප්‍රදේශය ඇපල්, දොඩම් සහ අනෙකුත් පළතුරු වගාවන් වලින් සෑහෙන්න ආදයමක් එක් කරගන්නවා.

පෙර සූදානම

මේ සුන්දර ඉන්දියානු මනාලිය නැරඹීමට යාමට අප සූදානම් වූයේ සෑහෙන කලකට පෙර සිටයි. පසුගිය අවුරුද්දේ (2015) මැද භාගයේ සිට මේ පිළිබඳ තොරතුරු අන්තර්ජාලය පුරා සෙවූ අපට මේ සංචාරය සඳහා Vacation Lifters නම් පුද්ගලික සමාගමක් Travel organizer වශයෙන් සොයාගත හැකි වූ අතර ඔවුන් ගුවන් ගමන් ටිකට් හා වීසා බලපත්‍ර හැර අන් සියළු දේ සඳහා උදව් සපයනවා. ප්‍රවාහන සහ ඉඳුම් හිටුම් සඳහා ඔවුන්ගේ සහය ලබාගන්න අප තීරණය කළා.

මනාලි වෙත ලංකාවේ සිට ඍජු ගුවන් ගමන් (direct flights) නොමැති අතර ආසන්නතම ඍජු ගමනාන්තය වන්නේ නව දිල්ලියයි. නව දිල්ලිය වෙත Air India සහ SriLankan පමණයි ගමන් වාර පවත්වන්නේ. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් නව දිල්ලිය වෙත සහ ආපසු ටිකට්පත්  ඔවුන්ගේ වෙබ් අඩවියෙන් මිල දී ගත් අතර, IVS Lanka නම් ඉන්දීය රජය විසින් ලංකාව සඳහා පත් කළ වීසා ඒජන්සිය හරහා වීසා ලබාගැනීමට කටයුතු කලෙමු. (ඉන්දීය කොන්සල් කාර්යාලයෙන් වීසා ඍජුවම ලබා දෙන්නේ නැහැ.)

එක් අයෙකුට දළ වශයෙන් LKR 40,000-50,000ත් අතර මුදලක් ගුවන් ටිකට්පත් සඳහා වැය වනවා. දින ගණනාවක සිට මිල විචලනය ගැන අවධානයෙන් සිටියහොත් අවම මිලකට ටිකට්පත් මිලට ගත හැකියි. ඒ අනුව එක් අයෙකුට රුපියල් 42,000කට පමණ ට්කට්පත් මිලදී ගැනීමට හැකියාව ලැබුණා.

ඔබත් සීත ඍතුවේදී මනාලි වෙත ගමන් ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් අධික සීතල මුහුණ දීමට බලාපොරෙත්තුවෙන් සීත ඇඳුම් රැගෙන යන්න. සෙල්සියස් අංශක බින්දුව හා ඍණ අගයන් කරා උෂණත්වය පහළ බැසිය හැකි අතර අධික සීතල සඳහා ඇඳුම් තට්ටු කිහිපයක් (multi layer) ඇඳීම යෝග්‍ය වනවා.

ප්‍රශ්නයක්

කලින් කියූ පරිදි ප්‍රවාහන සහ ඉඳුම් හිටුම් සඳහා අප කතා කරගත් ආයතනයෙන් අත්තිකාරම් මුදලක් අපෙන් ඉල්ලා සිටියා. ඒ අනුව ජනවාර් පළමු වනදා ලංකාවේ මහජන බැංකුව හරහා ඔවුන්ට මුදල් යැවීමක් සිදු කළා. නමුත් ගමන ආරම්භ කරන ජනවාර් 13වනදා දක්වා කිසිදු මුදලක් ඔවුන් වෙත ලැබුනේ නැති බව ඔවුන් කියා සිටියා. කෙසේ වුවද අපට අපහසුවක් නොමැතිව ගමනට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන බව ඔවුන් පොරොන්දු වූවා. කෙසේ වුවද ඉන්දියානු සංචාරක නියෝජිතයන් ඉතා සටකපටකම් කරනා බැව් අසා ඇති බැවින් ඔවුන් කෙරෙහිද සැකයක් ඇතිවයි ගමනට සූදානම් වූයේ.

පළමුදා

දිනය ජනවාරි 13. කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපලට අප ළඟා වූයේ ගමනට පැය තුනකට පෙර එනම් පෙරවරු 11:00ට පමණ. අපගේ ගුවන් යානය පස්වරු 2:00ට ගුවන්ගත වීමට නියමිතයි. ගුවන් යානවට ඇතුලු වීමට පෙරාතුවත් ඉන්දීය නියෝජිතයන් ඇමතුවත් ඔවුන් පැවසුවේ තවමත් මුදල් ලැබී නොමැති බවයි. ඒ අතරතුර පෙරසූදානමක් ලෙස අප තවත් නියෝජිතයෙකු හා කතා කරගත්තේ ඉන්දියාවට පැමිණ මුදල් ලබාදෙන පොරෙන්දුව පිට ගමන සංවිධානය කර දෙන ලෙසයි. ඔවුන් ඒ සාඳහා එකඟ වූ අතර අපගේ බලාපොරෙත්තුව කලින් කී නියෝජිතයා නොමනා කිසිවක් කළහොත් පසුව කී අයගෙන් පහසුකම් සපයාගෙන ගමන යාමටයි.

අවසානයේ හරියටම පස්වරු දෙකට අප ගුවන් යානය ගමන් ඇරඹුවේ ඉන්දියාවේ නව දිල්ලි ගුවන්තොටුපල වෙත යාමටයි. ප්‍රසන්න ගුවන් ගමනක් අවසානයේ මීදුමෙන් වැසීගිය නව දිල්ලි ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපලට යානය ළඟාවන විට පස්වරු 05:30ට පමණ වී තිබුණා.

පැයකට පමණ පසු ගුවන්තොටුපලෙන් ඉවතට පැමිණි අපට ගුවන්තොටුපලේ දර්ශකවල සඳහන් ආකාරයට සෙල්සියස් 14ක පමණ සීතලකට මැදිවන්නට සිදුවුණා. ගෙනා සැහැල්ලු සීත ඇඳුම් හැඳගත් අප නව දිල්ලි මෙට්‍රො සේවාව (New Delhi Metro) මගින් මෙහෙයවන ගුවන්තොටුපල සීඝ්‍රගාමී මෙට්‍රො දුම්රිය (Airport Express) භාවිතා කරමින් නව දිල්ලි ප්‍රධාන දුම්රිය ස්ථානයට පැමිණියා.

ආයෙත් පරණ ප්‍රශ්නෙ

අපේ සංචාරක නියෝජිතවරියට Airport Express අවසාන නැවතුම කොහිදැයි සොයාගැනීමට නොහැකිව අපට පැයක් පමණ සීතලේ ගැහෙමින් නවදිල්ලි මෙට්‍රො නැවතුම්පළේ සිටින්නට වුණා. කෙසේ හෝ අවසානයේ ඇය අපට කීවේ පුදුම සහගත කතාවක්.

තවමත් මුදල් ලැබී නොමැති බැවින්, මුළු මුදලම ගෙවනා ලෙසත් අපගේ මුදල් ලැබුණ පසුව එම මුදල නැවත අප හට එවන්නට හැකි බවත් කියා සිටියා. මෙහිදී අප ගණන කර බැලූවිට වෙනත් නියෝජිතයෙකු සම්බන්ධ කරගෙන ගමන යාමෙන් ඊටත් වඩා අලාභයක් සිදුවිය හැකි බැවින් ගමන් පහසුකම් සළසා ගැනීමට මොවුන්ට මුළු මුදලම ගෙවීමට තීරණය කළා. ඒ සඳහා ඊළඟ දිනයේදී කටයුතු සම්පාදනය කරගැනීමට කතිකා කරගෙන ඔවුන්ගේ ටැක්සි රථයෙන් අප දිල්ලියේ නවාතැන වෙත පිටත් වුණා.

අපගේ දිල්ලි නවාතැන වූයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය යටතේ පාලනය වන “Sri Lanka Pilgrims Rest” නමින් හඳුන්වන ශ්‍රී ලාංකික වන්දනාකරුවන් වෙනුවෙන් වෙන්වූ නවාතැන් පොළයි. මෙය පිහිටා තිබෙන්නේ අංක 07, කෙම්ස්ෆෝඩ් වීදිය, පහරගන්ජි, නව දිල්ලිය (No. 7, Chelmsford Rd, Paharganj, New Delhi)  යන ස්ථානයේ.  කුඩා කාමර සහිත මෙම නවාතැන පළෙහි ගාස්තු දැරිය හැකි මිලක් වන දිනකට ඉන්දියානු රුපියල් 750 සිට ඉහළට ලබාගත හැකි වනවා. සමාන්‍ය තරමේ හොඳයි කිව හැකි තරම් පිරිසිදු භාවයක් සහිත මෙම ස්ථානය ශ්‍රී ලාංකිකයින්ට නව දිල්ලි කාන්තාරය තුළ ක‍්ෂේම භූමියක් මෙනි.

රාත්‍රී අහාරය සඳහා අසල ආපනශාලා බෙහොමයක් ඇති නමුත් රාත්‍රී 9 පමණ වන විට ඔවුන් සතු ආහාර අවසන් වනවා. අපගේ ස්ථානය වූයේ බසන්ට් වීදියේ (Basant Road)  Rishi Vaisho Dhaba නම් ආපන ශාලාවයි.

දෙවනදා

දෙවන දිනයේ උදෑසන පහරගන්ජි වෙළඳපල අවට හා නව දිල්ලි ප්‍රධාන දුම්රිය ස්ථානය අවට සංචාරය කළ අපි නැවත නවාතැනට පැමිණියේ සංචාරක නියෝජිතයින්ගේ මුදල් ගෙවීමේ කටයුත්ත සහ සවස්භාගයේ මනාලි වෙත මුළු රාත්‍රීය පුරා දිවෙන කිලෝමීටර 550ක පමණ ගමනට සූදානම් වීම සඳහායි.

මුදල් ගෙවීමේ කටයුතු අවසන් වූ පසුව ඔවුන් අපව කාශ්මීර් දොරටුව (Kashmir Gate) ප්‍රදේශයේ වන මජ්නු කා ටිලා (Majnu Ka Tilla) නම් ස්ථානයේ ඇති දුර ගමන් සේවා සංචාරක බස් රථ ගමනාරම්භ කරන ගෙනැවිත් ඇරලුවෝය.

ගමන

බස්රථය සවස 6.30ට පමණ ඉන්දියාවේ නව දිල්ලි සිට පාකිස්ථානයේ ලාහෝර් වෙත දිවෙන National Highway 01 (NH-01) නමින් හැඳින්වෙන මහාමාර්ගයට අවතීර්ණ වූ අපි උතුරු දිශානුගතව ගමන් ආරම්භ කළා. විනාඩි 45ක පමණ ධාවන කාලයකින් පසුව දිල්ලි නගරය පසු කර හර්යානා ප්‍රන්තයේ මායිම වෙත පැමිණියා. ඇතුල් වීමේ ගාස්තු ගෙවූ අනෙක් බස් රථ පිටත් වී ගියද අපගේ බස් රථය පිටත් වූයේ නැහැ. සොයාබැලීමේදී බස් රථය කැඩී ඇති අතර වෙනත් බසයක් ඒ වෙනුවට පැමිණෙන බවත් අපට මඳ වෙලාවක් රැඳී සිටීමට සිදුවන බවත් දැනගන්නට ලැබුණා. පැයකට පමණ පසුව පැමිණි බස් රථයක් අපව මනාලි වෙත ගෙනයාමට ගමානාරම්භ කළා.

The bus came for replacement while having halt at Ambala for a break

The bus came for replacement while having halt at Ambala for a break

අපව ගෙනයාමට පැමිණි බස් රථය ඉහත ඡායාරූපයේ වන අතර හර්යානා ප්‍රාන්තය හා චන්දිගාර් නගරය අතර මායිම අසල වූ Ambala නම් නගරයක අපනශාලාවක් අසල රාත්‍රී 10ට පමණ මඳ විවේකයක් සඳහා නතර වූ අවස්ථාවයි මේ.

හිමාචාල්

තවත් මඳ වෙලාවකින් ඉන්දියාවේ දෙවන ප්‍රධාන නගරය ලෙස සැලකිය හැකි සුවිසල් සහ මනා නගර සැලැස්මකින් යුතුව නිර්මාණය කරන ලද චන්දිගාර් (Chandigarh) නගරය පසු කළෙමු. ඉන් පසු පන්ජාබ් (Punjab) ප්‍රාන්තයේ ඊසාන දිග ප්‍රදේශය හරහා වූ කෙටි ගමනකින් අනතුරුව දිල්ලි – ලාහෝර් NH-01 නම් ප්‍රධාන මාර්ගයෙන් වෙන් වී හිමාචාල් ප්‍රාන්තයට (Himachal Pradesh) ඇතුළු වූයෙමු.

දැඩි වංගු සහිත කුඩා මාර්ගයක කඳු තරණය කරමින් ඇදෙන බස්රථය වේගය අඩාල කරන බවක් පෙන්නෙන්නට නැහැ. හැල්මේ දිවූ බසය ස්ථාන ගණනාවක මාර්ග බාධක කිහිපයක නවත්වමින් සහ මාර්ග බදු ගෙවමින් පැය ගණනාවකට පසු අළුයම 2ට හෝ 3ට පමණ කුඩා ආපනශාලාවක් අසල නැවැත්වූයේ තවත් විරාමයක් ලබාගන්නටයි. බසයෙන් එළියට පැමිණි අපට උෂ්ණත්වයේ දැඩි වෙනසක් දැනුණා. දිල්ලියේ අංශක 12-13 මෙන් නොව අංශක 0ට ආසන්න වන්නට ඇතැයි අනුමාන කළ හැකි ගල් ගැසෙනා සීතලක් එහි තිබුණා. ගෑස් උඳුනක් වටා පිරිසක් ගිනි තපිමින් උන් අතර අපද එයට එකතු වූයේ දැඩි ශීතල නිසාමයි. කෙසේ වුවද ඉදිරි දින කිහිපය අපට ගත කරන්නට සිදුවන්නේ මෙවැනි ශීතලක් මධ්‍යෙය්යි.

හිරු උදාවෙයි

නැවතත් ගමන් ආරම්භ කළ බසය කඳු නඟිමින් පල්ලම් බසිමින් අරුණෝදය උදාවෙද්දී සුප්‍රකට කුල්ලු (Kullu) ප්‍රදේශය පසුකරමින් සිටියා. ආලෝකය වැටී වටපිටාව වර්ණවත් වෙද්දී අප දුටුවේ කිසිදා අමතක නොවන දර්ශණයකි. හිමෙන් වැසුනු කඳු පියසි, ඒ පාමුල ගලා බසින රමණිය ගංගාව. එය නම් දෑසින් දැකිය යුතුම දර්ශනයකි.

තුන්වනදා

උදෑසන හතහමාර අට පමණ වෙද්දී මනාලි සංචාරක බස් නැවතුපලට පැමිණි අප පිළිගෙන හෝටලය වෙත ගෙන යාමට පැමිණ සිටියේ බෂීර් (Bashir). ඔහු කුල්ලුවලට පහළ මන්ඩි (Mandy) ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඉතා උස මහත දේහයකට හිමිකම් කියන ඔහු ප්‍රියමනාප පුද්ගලයෙක්. අප ගමනේ ඉදිරි දින දෙක සඳහා රියදුරු වන්නේ ඔහුයි.

සංචාරක නියෝජිතයින් හරහා කලින් වෙනකරවාගෙන තිබූ මනාලි නගර මධ්‍යයේ වන Silmog Garden නම් හෝටලය වෙත ඔහු අපව රැගෙන ගියා. කුඩා නමුත් ඉතා පිරිසිදු හොඳින් නඩත්තු කරන හෝටලයක් වන ඔවුන්ගේ කාර්ය මණ්ඩලය ඉතා සුහද හීලී පිරිසක්. ඔවුන්ට TripAdvisor ආයතනයෙන් සම්මානයක් පවා ලැබී තිබෙනවා. හෝටලය කිසිදු ගැටලුවක් නොමැතිව ඕනෑම අයෙකුට නිර්දේශ කළ හැකියි.

Hotel Silmog, photo taken in Summer: extracted from the website

Hotel Silmog, photo taken in Summer: extracted from their website

උදෑසන ආහාරය හෝටලයෙන් ලබාගත් අප මඳ වෙලාවක් විවේක ගෙන නගරය අවට සංචාරක ස්ථාන කිහිපයක් නැරඹීට ගියා. හින්දු කෝවිල් සහ ප්‍රාදේශිය දෙවිවරුන් සඳහා ඉදිකළ දේවාල කිහිපයක් සහ උණු වතුර ළිං සහ Club house නම් ස්ථානයක් නැරඹීමට අපට රැගෙන ගියා.  අවසානයට කී උණු වතුර ළිං කෙසේ වෙතත් Club house නම් ස්ථානය නම් කිසිදු වැඩකට ඇති ස්ථානයක් නෙවෙයි.

සවස මනාලි නගරය අවට ඇවිදීමට කාලය ගත කළා. සවස් වන විට ශීතල වැඩිවත්ම දිනය අවසානයේ හෝටලට පැමිණියා.

ඒ ඊළඟ දිනයේ ගමනේ ප්‍රධාන බලාපොරොත්තුවක් වූ හිම කඳු කරා ගමන් කිරීමේ බලාපොරොත්තුවෙන්. ඒ ගමනේ විස්තුර දෙවන කොටසින් බලාපොරොත්තු වන්න.

← Previous post

Next post →

4 Comments

  1. මාරයා...

    //එහි ඡායාරූප මෙහි නොදමන්නේ එය ඔබ දෑසින්ම දැකිය යුතු දර්ශනයක් බැවිනි.//
    උඹ කැමති සුද්ද සිංහලෙන්ද නැත්තං සංස්කෘත වලින්ද…?

    සංචාරක ඒජන්සි කාරයා බොරුවක්ද කරලා තිබුනේ…?
    උන්ගේ ගණන් හිලවුත් ලිවුවනං තමා හොඳ…

    කෑම ගැනත් විස්තර තිබුනනං වඩාත් හොඳා… මටනං ඔය ඕන එකක් ගිල්ලැකි.. ඒත් ලංකාවෙන් යන ඉන්දියන් කෑම සහ වෙනත් ආහාර ගන්න ඒ හැටි කැමැත්තක් නැති… අයට කන්න පුළුවන් ඔහේ තියෙන දේවල්.. පුළුවන්නං සමහරක මිල ගණන් ආදියත් දැම්මනං ප්‍රයෝජනයි…

    • Nipuna Dodantenna

      එජන්සි කාරයා බොරුවක් නෙවෙයි කරල තිබුනෙ. පස්සෙ දැනගත්ත විදිහට උන්ට සල්ලි ගිහින් තිබුනෙ පෙබරවාරි 10 වෙනිදා. පස්සෙ ඒක confirm කරගෙන තව විකාර වගයක්වෙලා ආපහු සල්ලි එවනකොට මැයි මාසෙත් වෙලා. කොහොම හරි උන් අපිට refund එක එව්වා මැයි දෙවෙනි සතියෙදි.

      එහෙ කෑම නං අවුලක් නෑ. කන්න පුළුවන් ෂේප්. ටිකක් දවස් කනකොට එපා වෙනවා. යන්තං කෑම එක නිවුන ගමන් කන්න බෑ. ඒක තමයි අවුල. උණු පිට කෑවොත් එච්චර ගාණක් නෑ. ගණන් නම් ටිකක් වැඩියි. කෑම වේලකට නෝමලි ඉන්දියන් රුපියල් අසූවක් අනූවක් එහෙමත් නැත්තං සීයක් එකසිය විස්සක් යනවා. කන්න නං ඉතිං පරාටා ජාති බුරියානි ජාති එක එක මඟුල් තියෙනවා. බඩේ අමාරු කේස් නං ආවෙ නෑ කාටවත්.

  2. තිස්ස දොඩන්ගොඩ

    මා මෙතක් දුටු ඉන්දියානු සංචාරයක් පිළිබඳ කදිම සටහනක් හා ඉස්තරම්ම පින්තූර ගොන්නකි!

    • Nipuna Dodantenna

      බොහොම ස්තුතියි අයියා!

Leave a Reply

%d bloggers like this: