ටැබ්ලට් යන්ත්‍ර තුනක්

Share

මේ ලිපිය කියවීමට පෙර ඔබ ටැබ්ලට් යන්ත්‍රයක් යනු කුමක්ද යන්න සහ එහි භාවිතාව කෙසේද යන්න දැන සිටිය යුතු වනවා. ටැබ්ලට් යන්ත්‍රයක් යනු දුම්රය මාර්ග කොටසක් සඳහා අවසර ලබාදෙන අවසර පත්‍රය නිකුත් කිරීම සඳහා භාවිතා කරන උපකරණයක්. එක් දුම්රිය ස්ථානයක සිට නිකුත් කළ හැක්කේ අනුයාත ඊළඟ දුම්රිය ස්ථනය දක්වා ගමන්කිරීමට හැකි අවසරයක් නිකුත් කිරීම පමණයි. (මෙහිදී උප දුම්රිය ස්ථාන විශේෂත්වයක් ගන්නා අතර ඒවායේ ටැබ්ලට් උපකරණ නැහැ. ඒවා හරහා යෑමට එම මාර්ග කොටසට (ළඟම ඇති දුම්රිය ස්ථාන දෙක අතර කොටස) ලබාදී ඇති අවසරපත ප්‍රමාණවත්.) වැඩි විස්තර සඳහා ටැබ්ලට් යන්ත්‍රය පිළිබඳ ලියැවුණු මේ ලිපිය බලන්න.

නානුඔය හෝ වටගොඩ දුම්රිය ස්ථාන වල ටැබ්ලට් යන්ත්‍ර සැකැස්මේ වෙනත් දුම්රිය ස්ථාන වල නැති අපූරු දෙයක් දැක ඇත්නම් මේ ලිපිය ඔබටයි. ඔව් ඔබ සිතුවා නිවැරදියි මංසන්ධියක් නොවෙයි නම්, වෙනත් දුම්රිය ස්ථාන වල සාමාන්‍යයෙන් ඇත්තේ ටැබ්ලට් යන්ත්‍ර දෙකක් පමණයි. නමුත් නානුඔය හෝ වටගොඩ ස්ථානාධිපති කාර්යාලයට යන්න අවස්ථාවක් ලැබුණා නම් ඔබට දකින්න ඇති එහි ටැබ්ලට් යන්ත්‍ර තුනක් තිබෙන බව. මේ ලිපිය වෙන් වන්නේ ඒ ඇයි කියා කියන්නට.

noa-gwn-wtg

ඔබ දන්නා පරිදි නානුඔය – ග්‍රේට් වෙස්ටර්න් – වටගොඩ අනුයාත දුම්රිය ස්ථාන තුනක්. මේ දුම්රිය ස්ථාන තුනෙන් ග්‍රේට් වෙස්ටර්න් කලක් ගතවන තුරුම (2008 දක්වා) රාත්‍රියට වසා දැමුණා. මේ හේතුවෙන් එම දුම්රිය ස්ථානයෙන් රාත්‍රී දුම්රිය වලට ටැබ්ලට් ලබාදීමට හැකියාව තිබුණේ නැහැ. ඒ අනුව වටගොඩ – ග්‍රේට් වෙස්ටර්න් සහ ග්‍රේට් වෙස්ටර්න් – නානුඔය මාර්ග කොටස් වලට දුම්රියක් ඇතුළු වීමට අවසර ලබාදීම ගැටළුවක් වුණා. ඒ ගැටළුව විසඳීම සඳහා විශේෂ උපක්‍රමයක් යෙදුනා.

ග්‍රේට් වෙස්ටර්න් රාත්‍රියට වසා දැමුණායින් පසුව වටගොඩ – ග්‍රේට් වෙස්ටර්න් සහ ග්‍රේට් වෙස්ටර්න් – නානුඔය වශයෙන් තිබූ මාර්ග කොටස් දෙක එකක් කරමින් වටගොඩ – නානුඔය යනුවෙන් තනි ටැබ්ලට් එකකින් ක්‍රියාකරන මාර්ග කොටසක් බවට පත්කිරීම මෙම විසඳුමයි. නමුත් එසේ කිරීමට වටගොඩින් නානුඔය දක්වාමත්, නානුඔයෙන් වටගොඩ දක්වාමත් එක දිගට ගමන් කිරීමට අවශ්‍ය අවසරය හෙවත් ටැබ්ලට් එක ලබාදීම සිදුකිරීමට සාමාන්‍ය ක්‍රමය හරහා ඉඩකඩක් නැහැ. එක් දුම්රිය ස්ථානයක සිට නිකුත් කළ හැක්කේ අනුයාත ඊළඟ දුම්රිය ස්ථනය දක්වා ගමන්කිරීමට හැකි අවසරයක් නිකුත් කිරීම පමණක් වීම ඊට හේතුවයි.

ඒ සඳහා විශේෂ උපක්‍රමයක් යොදන්නට සිදුවුණා. නානුඔය සහ වටගොඩ දුම්රිය ස්ථාන වල තිබෙන සාමාන්‍ය ටැබ්ලට් යන්ත්‍රවලට අමතරව, එම දුම්රිය ස්ථාන අතර ඍජුවම සන්නිවේදනය කළ හැකි ඍජුවම අවසර නිකුත් කළ හැකි ටැබ්ලට් යන්ත්‍ර දෙකක් (නානුඔය එකක් සහ වටගොඩ එකක් වශයෙන්) සවි කර ඇත්තේ ඒ වෙනුවෙනුයි. සාමාන්‍ය ලෙස දිවා කාලයේ ග්‍රේට් වෙස්ටර්න් හරහා මෙහෙයුම් කටයුතු සිදුවණත් රාත්‍රියට එය වසා දැමෙන්නට කලින් දුම්රිය ස්ථාන තුනෙහිම මෙහෙයුම් බාර දුර්මිය ස්ථානාධිපතිවරුන් එක්ව එක්තරා විශේෂ ආකාරයකට සන්නිවේදන කටයුතු (බෙල් සංඥා මගින්) සිදුකර අවසානයේ මෙකී සෑම දුම්රිය ස්ථානයකම ඇති King Lever (මුල් ඡායාරූපයේ ටැබ්ලට් වළල්ල රඳවා ඇති උපකරණය) යනුවෙන් හැඳින්වෙන විශේෂ ලීවරයක් ඇද ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානය මඟහැර ඍජුවම නානුඔය සහ වටගොඩ අතර මාර්ග කොටසට අවසර නිකුත් කිරීමට හැකි අන්දමට ටැබ්ලට් යන්ත්‍ර සැකැස්ම වෙනස් කරනවා. ඉන් පසුව නානුඔය සහ වටගොඩ අතර ටැබ්ලට් නිකුත් කරන්නේ පෙර සඳහන් කළ එම දුම්රිය ස්ථාන වල ඇති අමතර ටැබ්ලට් යන්ත්‍ර මගින්.

ඒ අනුව රාත්‍රී කාලයට පමණක් ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානය මඟහැර නානුඔය – වටගොඩ අතර ඍජුවම දුම්රිය ගමන් සිදු කෙරුණා. 2008න් පසුව එම දුම්රිය ස්ථානය රාත්‍රියටත් විවෘත කර තැබීමට ගත් තීරණය අනුව දැන් මෙම සැකැස්ම භාවිතයට නොගන්නා නමුත් උපකරණ තවමත් එලෙසින්ම පවතිනවා.

ආශ්‍රිත: “කඳු අතර සැඟවුණ ග්‍රේට් වෙස්ටර්න්”, නවීන් චින්තන විමල්සිරි. Lanka Railway Digest (Dec 2013 – Mar 2014)

විශේෂ ස්තුතිය: රසික කරුණාතිලක (දුම්රිය ස්ථානාධිපති – නානුඔය සංචාරක) සහ දුම්රිය ස්ථානාධිපති (මෙහෙයුම් – නානුඔය)