ඉතින්… මේ පෝස්ටුව ලිවීමට කල් ගතවුණා වැඩිද කියාත් සිතෙන නමුත් සියල්ල සිදුවී අවසාන වන තුරු සිටීමට සිදුවූයේ ඒ තරමටම කැනේඩියන් එන්ජින් වලට මේ දිනවල සිදුකෙරෙනා කෙනෙහිලි කම් නිසා මෙය යථාර්ථයක් නොවී අත්හැර දැමේවි යැයි සිතේ තිබුණු බිය නිසාවෙනි.
කෙසේ නමුදු යළි ඈ පැමිණියාය. ඈ… ආදරණිය වෑන්කූවර්…
බොහෝ කලකට පෙර උඩරට යන ගමන්… ඡායාරූපය ශානක ගුණරත්න සොයුරාගෙනි |
සියල්ල පටන්ගත්තෙ පේරාදෙණියෙදි වෙච්ච පීලි පැනීමෙන්. ඊට පස්සෙ මොන්ට්‍රියෙල්ගෙ ඇක්සල වලින් නුහුරු නුපුරුදු පළාත් වල දුවල ඇක්සල කඩා ගත්ත කතාව මම කලින් ලිපියෙදි කිව්වනෙ.
ඊට පස්සෙ බොහෝ කාලයක් රත්මලාන කර්මාන්තශාලා භූමියෙ අව්වෙන් වැස්සෙන් පීඩා විඳිමින් ඉඳිද්දි විදේශයකින් ඇක්සල් දෙකක් ගෙනැත් තිබුණා වෑන්කූවර්ට සවි කරන්න. ඒත් ඒවා අපේ M2c වලට හරිගියේ නෑ. ඉන් පසු ඒවා වෑන්කූවර්ට ගැලපෙන අන්දමින් වෙනස් කොට සවි කළ අතර පරීක්ෂණ ධාවනවාර රැසක්ද සිදුකරන ලදි. එවන් බොහෝ අවස්ථාවල ඇක්සල රත් වීම ගැන අසන්නට ලැබුණි. ඒ නිසා බොහෝ වාර ගණනක් අවශ්‍ය සීරු මාරු කිරීම් වෙනස් කිරීම් සිදු කිරීමට සිදුවිය.
පරීක්ෂණ ගමන් වාර රැසක් අවසානයේ ඇය දකුණු කළුතර දක්වා මගී දුම්රියක් ගෙන යමින් සිය දස්කම් පෑවාය. ඉන් පසුව පසුගිය අගෝස්තු පළමුවනදා කොළඹ සිට මාතර දක්වා අංක 50 දරණ සුප්‍රකට සුනාමි දුම්රිය ගෙන ගිය අතර එම දිනය මා හට කිසි දිනක අමතක නොවන දිනයක්. ඒ මන්ද යත් වෑන්කූවර් මුල්වරට හා අවසාන වරට දුටුවේ මීට වසර හතරකට පෙර අගෝස්තු පළමුවනදාවකම වීමයි. ශ්‍රී ලාංකික දුම්රිය ලෝලීන්ට එදින ඉමහත් සතුටුදායක දිනයක් වූ අතර ඔවුන් දැන් බලා සිටින්නේ ඈ යළිත් ඈ අයිති උඩරට යන්නට එන තුරුයි.
වෑන්කූවර් අලුත්වැඩියාවෙන් පසු සුනාමි දුම්රියට පළමුවෙන්ම යෙදූ අගෝස්තු පළමුවනදා සවස දුම්රිය ලෝලීන්ගේ කැමරා ඇසින් මිදීමට නම් වෑන්කූවර්ට හැකියාව ලැබුණෙ නෑ.
මේ සුනාමි දුම්රියට යෙදූ දින සවස ගෙහාන් සොයුරා විසින් ගත් ඡායාරූපයක් |
ඡායාරූපය යෂ්මාල් නේරංජ සොයුරාගෙනි |
වැඩකටයුතු මධ්‍යයේ වුවත් වෑන්කූවර්ගේ පුනරාගමනය ගැන කෙටි ලිපියක් ලිවීමට සිතුණේ ඇය යළි ධාවනය වන පුවත ඇසීමෙන් දැනුණු අපමණ සතුට නිසාමයි.