උඩරට යන අලුත් පවර්සෙට් එක, Class S12 – හොඳද? නරකද?

Share

මෙහි ඇති තාක්ෂණික කරුණු හැර අනෙක් අදහස් සම්පූර්ණයෙන්ම මාගේ පුද්ගලික අදහස් බව කරුණාවෙන් සලකන්න.

මම ළගදි ආයෙත් උඩරට පැත්තෙ චාරිකාවක් ගියා කෝච්චියෙන්. දෙමෝදරින් බැහැල මිනි හයික් එකකුත් ගිහින් ආපහු කොළඹට ආව පොඩි මැණිකෙ අලුත් Class S12 පවර්සෙට් එකේ. මගේ හැඟීම නං පිට පෙනුම හැරෙන්න වෙනත් විශේෂයෙන් කිව හැකි වැරැද්දක් නෑ දැනට. දෙපසින්ම අශ්වබල 2000 බැගින් වන එන්ජින් දෙකක් යොදා ඇති නිසා හොඳ වේගයක් හා කඳු නැඟීමේ හැකියාවක් තිබෙනව. පළමු පන්තියේ මැදිරියක්, දෙවෙනි පන්තියේ මැදිරි තුනක්, තුන්වන පන්තියේ මැදිරි තුනක් හා තුන්වන පන්තියේ ආසන සහිත භොජන රථයක් වශයෙන් මැදිරි අටක් මෙහි තිබෙනවා. ඒ නිසා පෙර මෙන් අඩු මැදිරි ගණනක සිරවී තෙරපී ගමන් කිරීමට අව්‍යතාවයක් නෑ.

කල් පැවැත්ම වගේවැනි දේවල් ගැන කතා නොකර මගීන්ගෙ පැත්තෙන් විතරක් අරන් බැලුවොත් මේක ගොඩක් හොඳයි. මම තවම මේකෙ තුන්වෙනි පන්තියෙ ගමන් කරල නෑ. 1 හා 2වෙනි පන්ති මැදිරි වල ලොකු ගැටලුවක් දැක්කෙ නෑ.

වායුසමීකරණය කරන ලද පළමු පන්තියේ මැදිරිය

මේකෙ ඇතුලත පෙනුම නිමාව ගත්තම ලොකු අවුලක් නෑ. දොර තමා කේස් එක. ඒකෙ තියෙන දොර අරින්න පොඩි බොත්තමක් තද කරන්න ඕන. මේක නං මාස හයෙන් හයට අලුතෙන් දාන්න වෙයිද දන්නෑ. අනික දුම්රිය සේවකයිනුත් මේක ගැන හරි දැනුවත් භාවයක් නෑ. මගින් නැගපු දුම්රිය සේවකයෙක් මැදිරිය හරහා යන්න දොර ඇරියෙ බොත්තම තද නොකර බලෙන් තල්ලු කරල. ආපහු වහන්න හැදුවෙත් එහෙම. ඉතිං කාලාන්තරේකට එකපාරක් යන මගීන් මොනව කරයිද? මට පේන්නෙ මේ දොරට නං වැඩි කල් පැවැත්මක් නෑ. AC operator ප්‍රධාන දුම්රිය ස්ථානවලදි මගීන්ට දොර හැර දුන් නමුත් හැමවෙලේම ඔහු ඔහුගේ ආසනයේ නොසිට මැදිරිය තුලට වී නිදාගත් නිසා මගීන් තමන් විසින්ම දොර විවෘත කරගනු ලැබුවා. 😀 ඉතිං මේ දොරේ ආයු කාලය ගැන නං විස්වාසයක් නැත.

ආසන සම්පූර්ණ වටයක් (අංශක 360) කරකැවිය හැකි, backrest එක adjust කළ හැකි සුව පහසු ආසන 44ක් පළමු පන්තියෙ මැදිරිය තුළ තිබෙනව. ආසන වලත් කල් පැවැත්ම ගැන කියන්න නම් තාම කල් වැඩියි. පොඩි පොඩි සුකුරුත්තං කෑලි බෑලි වැඩි නිසා නිතරම මාරු කරන්න නං වෙයි. මෙම ආසන සියල්ල කලින් වෙන් කරන්න පුළුවන් දැනට S12 යෙදවූ සෑම දුම්රියකම. LCD TV තිර හයක් හා ශබ්ද විකාශන පද්ධතියක්ද මේ මැදිරිය තුල තිබෙනවා.

පළමු පන්තිය මට දැනුන හැටි

මම ගියේ පරිසරය දකින්න. ඒ වැඩේට නං මේක හරියන්නෑ කියල මුලින්ම කියන්න ඕන. ඒ වැඩේට දෙවෙනි පන්තියෙ මැදිරියක් ගියා නං තමා හරියන්නෙ. ඒ නිසා මම කලේ ඉදල්ගස්හින්නෙ ඉඳන් ෆුට්බෝඩ් එකේ ආපු එක.

ෆුට්බෝඩ් සරණං ගච්ඡාමි

මේක ඇතුලට කෝච්චියෙ සද්දෙ ඇහෙනව ගොඩක් අඩුයි. එන්ජිම ළඟම තිබෙන මැදිරිය නිසා යම් තරමකට සද්දෙ ඇතුලට ඇහුනත් සම්පූර්ණයෙන්ම වායුසමීකරණය කරන ලද මහනුවර-කොළඹ නගාරන්තර දුම්රියෙ මැද හරියෙ තිබෙන මැදිරිවලට නම් ඒ තරමින්වත් සද්දෙ හෝ දෙදරීම දැනෙන එකක් නෑ. ගැස්සීමත් සෑහෙන්න අඩුයි. රඹුක්කන හා කොළඹ අතර නම් කිසිදු සෙලවීමක් නැතිම තරම්. ඒ හරියෙ නං ඉතාම සුවපහසු වෙන් ගමන් කළ හැකිබව කිව හැකියි.

පළමු පන්තියේ මැදිරිය ඇතුලත

මේකෙ තියෙන ලොකුම කරදරේ තමා වේගය දැනෙන්නෙ නැති වීම. කෝච්චිය කොට කොටා යනව වගේ දැනෙන්නෙ ඇතුලට. ෆුට්බෝඩ් එකට ගියාම තමයි වේගය තේරෙන්නෙ. දෙපසින් අශ්වබල 2000හේ එන්ජින් දෙකක් යොදා ඇති නිසා මාර්ගය හොඳ නම් හොඳ වේගයකින් යා හැකියි. වංගු සහිත මාර්ගයෙ වුවත් මැදිරි දිගින් අඩු නිසා (50ft) කරදරයකින් තොරව ගමන් නළ හැකියි. නමුත් රඹුක්කනින් ඉහළට මාර්ගයේ අබලන් භාවය, ශීඝ්‍ර නැග්ම සහ වංගු සහිත බව නිසා වේගයෙන් ගමන් කිරීමට නොහැකියි.

දෙවෙනි පන්තියෙ නම් ඒ කරදරේ නෑ. පරණ විදිහට හුළඟ වැදි වැදී පරිසරයෙ අලංකාරය හොඳ හැටි විඳින්න පුළුවන්. ආසන වුනත් හොඳයි. කරදරයක් නැතුව ගමන යන්න පුළුවන්. දෙවෙනි පන්තියෙ එක් මැදිරියක කලින් ආසන වෙන් කරන්න පුළුවන්.

ප්‍රශ්නය

ඒත් මේ කිසිවකට M2c හරි M6 හරි  එන්ජිමක් දාල රුමේනියන් මැදිරි සමඟ නැරඹුම් මැදිරියක් සමඟ උඩරට ගිය පොඩි මැණිකෙලා උඩරට මැණිකෙලා සම කළ නොහැකියි. ඒ පෙනුමට ආදරය කරන මෙරට හා පිටරට සංචාරකයින් ඕනෑ තරම් සිටිනවා. එය සංචාරකයින් ආකර්ශනය කරගත හැකි ආකාරයක්. ලෝකයේ සමහර රටවල scenic railway යනුවෙන් තමන්ගේ රටේ තිබෙන සුන්දර දුම්රිය මාර්ග එදා පැවති අයුරින්ම ආරක්ෂා කරගෙන ඒ අයුරින්ම පවත්වාගෙන යනවා. හොඳ උදාහරණයක් ඉන්දියවේ නීල්ගිරි දුම්රිය මාර්ගය (Nilgiri Mountain Railway) හා ඩාජිලින් දුම්රිය මාර්ගය (Darjeeling Himalayan Railway).

නීල්ගිරි දුම්රිය මාර්ගය
ඩාර්ජිලීන් දුම්රිය ඇතුලත

ඊට හේතුව සංචාරකයින් ආකර්ශණය වෙන්නේ සොබා සෞන්දර්යත් සමඟ ඒ දුම්රියේ පෙනුමටත් එක්ක නිසයි. තවමත් අංක 1007 හා 1008 දරණ ශීඝ්‍රගාමී දුම්රිය දෙක රුමේනියන් මැදිරි සමඟ ධාවනය වුවත් එම මැදිරි වල හා එන්ජින් වල තත්ත්වය ඉතාමත් ශෝචනීයයි. හරි හැටි නඩත්තු කරන්නෙ නැති බවයි පේන්නෙ. දිගින් දිගටම අලුත් පවර්සෙට් ගෙන ඒම සඳහා පැරණි මැදිරි සහ එන්ජින් නඩත්තු කිරීම පැහැර හරින බවයි මගේ හැඟීම. අපි අළුත් වෙන්න ඕන. නමුත් ගැපෙන විදිහට, නියම විදිහට.

මගේ විසඳුම

මේ සඳහා මගේ යෝජනා කිරීම මෙහෙමයි. උඩරට ධාවනය කිරීමට සුදුසු එන්ජින් (locomotives) ගෙන ඒම සහ ඊට සරිලන මැදිරි ගෙන්වීම. මේ පවර්සෙට් වල තිබෙන පහසුකම් ඒවාට අන්තර්ගතකිරීම කිසිසේත්ම අපහසු කාර්යයක් නොවෙයි. හොඳම උදාහරණය මහා සයිබීරියානු දුම්රිය මාර්ගය. ඔවුන් ඔවුන්ගේ පැරණි මැදිරි වල පිටත පෙනුම එලෙසින්ම තබාගෙන ඇතුළත නවීන අංගෝපාංග හා පහසුකම් වලින් සමන්විත කර තිබෙනවා.

පහත දැක්වෙන්නේ චීනය හා රුසියාව යා කෙරෙන මහා සයිබීරියානු දුම්රිය මාර්ගයේ හා ලෝකයේ අති දුෂ්කරම දුම්රිය ගමන් වලින් එකක් ලෙස සැලකෙන චීනයේ Quinghai-Tibet දුම්රිය මාර්ගයේ ධාවනයට එක් කර ඇති නව චීන මැදිරි. මේවා නිපදවා ඇත්තේත් S12 නිපදවූ සමාගමෙන්මයි. අතිශයින්ම දුෂ්කර දේශගුණික තත්ත්ව වලට ගැලපෙන ලෙස තනා ඇති මේවා දිනකට කිලෝමීටර දහස් ගණන් දුර ධාවනය වනවා. මේ ඒ ගැන විස්තර කිහිපයක්.

ප/ලි: පහත ඇති කමෙන්ට් කිහිපයත් කියවා බලන්න. එයින් අමතර දැනුමක් ලැබේවි. 🙂